වත්මන් රජය හුසේන්ලා සමග ශ්‍රී ලංකාවට එරෙහි ව කළ මෙහෙයුම

අල් හුසේන් ලංකාවට විත් සිටින මොහොතේ ඔහු නියෝජනය කරන එක්සත් ජාතීන්ගේ සංවිධානය ලංකාවේ මානව හිමිකම් ප්‍රශ්නය අවුල් කොට, එය දේශපාලන ව්‍යාපෘථියක් සඳහා යොදා ගැනීමට හැකි ආකාරයට පත් කරන්නට කළ උත්සාහයේ පැහැදිළි චිත්‍රයක් දැන් මතු වී තිබේ. (මෙහි එන එකී පෙළගැස්මට අදාළ දත්තය ‘දි අයිලන්ඩ්’ පුවත්පට නීතිඥ නලින් ලද්දුහෙට්ට් මහතා විසින් දුන් ලිපියකින් උපුටා ගැනුණි.)
එහි පළමු උත්සාහය නම්, මහින්ද රාජපක්‍ෂ හා මහලේකම් මූන්ගේ ඒකාබද්ධ ප්‍රකාශයට අනුව, ශ්‍රී ලංකා රජය විසින් 2010 මැයි 15 වන දින උගත් පාඩම් කොමිසම පිහිටුවා සති 5කට පසු එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්ඩලය විසින් දාරුස්මන් කොමිටිය පත් කිරීම ය. සිදු විය යුතු ව තිබුණේ ලංකාව විසින් පත් කළ වාර්තාවේ ස්වභාවය සලකා බැලීමෙන් පසු පමණක් එකී පියවර ගැනීම ය.
අනෙත් කාරණය නම්, අදාළ දාරුස්මන් වාර්තාව කැඳවා තිබුණේ ආරක්‍ෂක මණ්ඩලයේ අභ්‍යන්තර භාවිතය සඳහා පමණි. කෙසේ වෙතත්, එම වාර්තාව අවසන් වනවාත් සමගම මහජන අවකාශයට සේන්දු විය. සංවිධානයේ වෘත්තීයත්වය හා විස්වසනීය බව උල්ලංඝණය කරමින් කළ මෙම ක්‍රියාව පැහැදිළිව ම අගතියට පත් අප රටට එරෙහි ව ගත් ද්වේශසහගත පියවරකි.
මේ අතර, කිසිවකින් සතුටු කළ නොහැකි තැන යළිත් රාජපක්‍ෂ රජය විසින් ජනධිපති කොමිසමක් ලෙස පරණගම කොමිසම පත් කළ අතර, පසුව, සිදු වූ බව කියන යුධ අපරාධ පිළිබඳ සොයා බැලීමට හැකි වන පරිදි මෙම කොමිසමේ බල වපසරිය පුළුල් කිරීමකට ද ලක් කෙරුණි. මෙම කොමිසමට සහාය වීමට ලොවම පිළිගත් අන්තර්ජාතික විශේෂඥයින් තිදෙනෙකු පත් කළ බව ද අමතක නොකළ යුතු ය. කෙසේ වෙතත්, මෙම කොමිසම පිහිටුවා මාසයක් යන්නටත් මත්තෙන්, පෙර පරිදිම පත්කළ කමිටුවේ අවසන් වාර්තාව තබා පළමු රැස්වීම තැබීමට ද පෙර, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් ‘විශේෂ විමර්ශන කණ්ඩායමක්’ පත් කරන ලදී.
එක්සත් ජාතීන්ට තමන්ගේ කමිටුවක් පත් කළ හැක්කේ අදාළ රට විසින් එවැන්නක් නොකරන තැන දී බව පැහැදිළි ව ම සඳහන් නීතියකි. එහෙත්, ඒ සියල්ල නොසලකා ලංකාව විසින් කොමිසම් පත් කරන සෑම අවස්ථාවක ම ඊට සමගාමී ව එක්සත් ජාතීන් විසින් ද එසේ කොට ලංකාවේ උත්සාහන කඩාකප්පල් කිරීම හා එහි විස්වාසය පළුදු කිරීම කරනු දක්නට ලැබුණි.
සියල්ල මෙසේ සිදුවන විට, අලුතින් පත් වූ රජය හිතා මතා ම ඉහත උගුලට හසු විණි. රජය විසින් කවුන්සිලයේ ලංකාවට එරෙහි යෝජනාව තම අනුග්‍රහය යටතේ ඉදිරිපත් කිරීමට එකඟ වීම උඩරට ගිවිසුමෙන් පසු රටක් ලෙස ගත් මුග්ධතම හා දීනතම රාජ්‍ය තාන්ත්‍රික තීරණය බව කිව යුතු ය. මෙම යෝජනාවට අනුග්‍රහය දක්වන විට අන්තර්ජාතික විශේෂඥයින්ගේ ද සහය ලත් පරණගම කොමිසම් වාර්තාව එළි දැක් වී සති 4ක් ගත ව තිබුණ ද මානව හිමිකම් කවුන්සිලයට එය ඉදිරිපත් කිරීම අබිරහස් ලෙස වත්මන් රජය නොසලකා හැරියේ ය. 40000ක් මියගිය බවට වන මිථ්‍යාව සාක්‍ෂි සහිත ව බැහැර කොට තිබූ එම වාර්තාව ඉදිරිපත් කොට, ඒ මත තර්ක කළේ නම් ලක් රජය ද එක් ව ඉදිරිපත් කළ යෝජනාවේ ආක්‍රමනශීලි සියළු වගන්ති ඉවත් කර ගැනීමට හැකියාව තිබුණි. කුමන්ත්‍රණය මනාව පැහැදිළි වන්නේ කවුන්සිල් යෝජනාවේ පළමු කෙටුම්පත තුළ පරණගම වාර්තාව පිළිබඳ සඳහන් ව තිබුණ ද දෙවැනි හා අවසන් වාර්තාවලින් ඒ පිළිබඳ වන සියළු සඳහන් ඉවත් කර තිබීම තුළ ය. ලංකාවට එරෙහි ආක්‍රමනකාරි යෝජනාව කෙසේ හෝ ඒ අයුරින් ම ගෙන ඒමට කොටි ඩයස්පෝරාව විදේශ අමාත්‍යාංශයේ සහාය ලැබූ බව මින් පැහැදිළි වේ.
මෛත්‍රීපාල විසින් දැන් එම යෝජනාවට එරෙහි ව, තමන් විදෙස් විනිසුරුවන් ගෙන්වීමට ඉඩ නොදෙන බව කීව ද, ලංකාවේ සම අනුග්‍රහය යටතේ ඉදිරිපත් වූ යෝජනාව තුළ අප ඊට එකඟ වී ඇත. එය දැන් ලංකාවේ ම යෝජනාවක් විනා අන් අයගේ එකක් නොවේ. රනිල් විසින් ජනපතිට ප්‍රතිචාර ලෙස කීවේ තමන් විදෙස් විනිසුරුවන් ගෙනෙන බව ය. කෙසේ වෙතත්, ඔහු විසින් පෙබරවාරී දෙවැනි දා නැවතත් කීවේ, ව්‍යවස්ථාවට අනුව එසේ කළ නොහැකි බව ය. එසේ නම්, රජය විසින් කවුන්සිල් යෝජනාවට එකඟත්වය පළ කළේ මේ කිසිවක් ගැන බැරෑරුම් සොයා බැලීමකින් තොරව බව දැන් පැහැදිළි ය. අල් හුසේන් ලංකාවට එන විට, අඩුම කරමින් රජයේ ප්‍රධානීන් දෙදෙනාට තමා ගන්නා ස්ථාවරය පිළිබඳ එකඟතාවක් හෝ අවබෝධයක් නැති තැනට රට පත් වී ඇත. අප රටක් ලෙස කොතරම් පසුබැසි තිබේ ද? සිරිසේන-වික්‍රමසිංහ විසින් රට ඇද දමා තිබෙන ආර්ථික අගාධයට අමතර ව, දැන් රාජ්‍ය තාන්ත්‍රික ව ද රට තල්ලු කිරීමට නියමිත අගාධයේ ගැඹුර තේරුම් ගැනීම සඳහා අපට මීට වඩා නිදසුන් අවශ්‍ය නොවනු ඇත.
මහින්ද පතිරණ
--------------------------------------------------------------------------------------------------------------------------

* ඔබගේ ප්‍රතිචාරය අද ලක්දෙරණ වෙබ් අඩවියේ පළ කරනුයේ පහත සඳහන් කොන්දේසි මතය.
පුද්ගලයෙකු හෝ පුද්ගලයින්ට නිග්‍රහ නොකිරීම, අපහස නොකිරීම, අසභ්‍ය සහ පරුස වචන භාවිතා නොකිරීම, ප්‍රතිචාර සඳහා ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ නම් නිර්නාමික ලෙස භාවිතා නොකිරීම, ඉතා දීර්ඝ ප්‍රතිචාර නොදැක්වීම, අදාල පුවතට සම්බන්ධතාවයක් නැති ප්‍රතිචාර දැක්වීම, වෙනත් වෙබ් අඩවි වල පලවූ ප්‍රතිචාර සහ වෙනත් වෙබ් අඩවි ප්‍රචලිත කිරීමේ අරමුණින් කරන්නා වූ ප්‍රතිචාර යන ආදී කරුනු ඇතුලත් ප්‍රතිචාර අද ලක්දෙරණ වෙබ් අඩවියේ පළ නොකරන බව කරුණාවෙන් සැලකිල්ලට ගනු මැනවි.
සියලු පුවත් සඳාහා දක්වා ඇති පාඨක ප්‍රතිචාර "අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස" යටතේ ඔවුන්ගේම අදහස් විය යුතු අතර අද ලක්දෙරණ වෙබ් අඩවිය එම ප්‍රතිචාර සඳහා වග නොකියන බව මෙලෙස ඔබ සැමට අවධාරණය කරමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top