ශ්‍රී ලාංකික සිනමා සක්විතිගේ 80 වැනි උපන්දිනය

ශ්‍රී ලාංකික සිනමාවේ සක්විති ලෙස ජනාදරයට පත් ගාමිණි ෆොන්සේකා රංගධරයාගේ 80 වැනි උපන්දිනය අදට (21) යෙදී ඇත.
ගාමිණී ෆොන්සේකා උපත ලැබුවේ 1936 වර්ෂයේ මාර්තු 21 වෙනිදා දෙහිවලදීය. ඔහු විලියම් සහ ඩේසි ෆොන්සේකා යුවළට දාව උපන් තෙවන දරුවා වූ ඔහු ප්‍රෙස්බිටීරියන් පාසලෙන් ප්‍රථමික අධ්‍යාපනය ලබා පසුව ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයට ඇතුළත් වුවාය. පාසල් යුගයේ සිංහල භාෂාව සහ සාහිත්‍යය ඉගෙනීමෙහිලා දස්කම් පෑ ගාමිණී එවකට ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යව සිටි ඩී.එස්. සේනානායක මහතා විසින් පිරිනමන ලද සිංහල සාහිත්‍යය දක්ෂතා ඇඟයීමේ ත්‍යාගයකට පවා හිමිකම් කීවේය. ඊට අමතරව ගාමිණී දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයකු ලෙසද පාසලේ ප්‍රසිද්ධියක් ඉසිලීය.

තම ද්වීතියික අධ්‍යාපනය හමාර කිරීමෙන් පසු ගාමිණී ෆොන්සේකා සිනමා ක්ෂේත්‍රයට ඇතුළු වූයේය. ප්‍රථමයෙන් ඔහුට අවශ්‍ය වූයේ කැමරාකරුවකු ලෙස සේවය කිරීමටයි. මෙම බලාපොරොත්තුව ඔස්සේ ගමන් කළ ඔහුට ඩේවිඩ් ලීන්ගේ “ද බ්‍රිජ් ඔන් ද රිවර් ක්වායි” (Bridge on the River Kwai) සහ ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ රේඛාව (1956) යන චිත්‍රපට වලට සම්බන්ධ වීමට ඉඩ ප්‍රස්ථාව හිමිවිය. රේඛාව චිත්‍රපටයේ සමුහ දර්ශණයකට පෙනී සිටිමින් ඔහු රංගන ක්ෂේත්‍රයට පිවිසියේය. එමෙන්ම එකල ශ්‍රී ලංකාවේ දී රූගත කරනු ලැබූ ඉංග්‍රීසි රූපවාහිනී වැඩසටහනකටද ඔහු රංගනයෙන් දායක වූයේය.

ගාමිණී ‍ ෆොන්සේකා 1959 තිරගත වූ දෛවයෝගය චිත්‍රප‍ටයේ කුඩා චරිතයකට රංගනයෙන් දායක වුයේය. ප්‍රථමයෙන් ඔහු ප්‍රධාන චරිතයකට දායක වූයේ සංදේශය(1960) චිත්‍රපටයටයි. ඉන්පසු අදට වැඩිය හෙට හොඳයි, රන්මුතු දූව, ගැටවරයෝ සහ ධීවරයෝ චිත්‍රපටවල රගපෑ ඔහු ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂකයන් අතර ඉමහත් ජනප්‍රියත්වයට පත්වූයේය.

වාණිජමය චිත්‍රපට වලට දායක වනවාට අමතරව ඔහු ගම්පෙරළිය (1964) වැනි කලාත්මක සිනමා කෘති වලටද දායක වුයේය. ටයිටස් තොටවත්තයන්ගේ චණ්ඩියා චිත්‍රපටයේ ගාමිණී ෆොන්සේකා ප්‍රථමවරට දුෂ්ඨ චරිතයකට පණපෙවීය. මයික් විල්සන් විසින් අධ්‍යක්ෂණය කරන ලද සොරුන්ගෙත් සොරු චිත්‍රපටයේ ඔහු රඟපෑවේ ජේම්ස් ‍බණ්ඩා ලෙසය. මෙම චරිතය ශ්‍රී ලාංකිය ජේම්ස් බෝන්ඩ් ලෙස බොහෝදෙනකු හඳුන්වයි.

රංගනයට අමතරව චිත්‍රපට අධ්‍යක්ෂණයට ද පිවිසි ගාමිණි ෆොන්සේකා සිනමා ලෝලීන් අතර ඉමහත් ගෞරවාදරයට පාත්‍ර වූයේ පරසතු මල් චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා ලෙසය.

ගාමිණී ෆොන්සේකාගේ රංගන ජීවිතයේ විශිෂ්ඨතම නිරූපණය ලෙස සලකනුයේ නිධානය (1970) චිත්‍රපටයේ විලී අබේනායක චරිතයයි. නිධානය චිත්‍රපටය එදා මෙදාතුර ශ්‍රී ලාංකීය සිනමා වංශ කතාවේ විශිෂ්ඨතම චිත්‍රපටය ලෙස සැලකේ.

ෆොන්සේකා සහ රාජපක්‍ෂ

ෆොන්සේකා සහ රාජපක්‍ෂ

1980 දී සුනිල් ආරියරත්න විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘සරුංගලේ’ චිත්‍රපටයේ දී ගාමිණී, යාපනයේ ද්‍රවිඩ ලිපිකරුවකු වූ නඩරාජා ලෙස අපූරු රංගනයක් ඉදිරිපත් කළේය. 1994 වසරේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ සමග නොමියෙන මිනිස්සු චිත්‍රපටයේ කැප්ටන් ගේ චරිතය රඟපෑවාය.

1989 දී ගාමිණී ෆොන්සේකා දේශපාලන ක්ෂේත්‍රයට ඇතුළු වුයේ එක්සත් ජාතික පක්ෂය සමඟ සම්බන්ධ වීමෙනි. 1989 දී මාතර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරීපත් වූ ඔහු පසුව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක ධූරය ද හෙබවීය. චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනියගේ වකවානුවේදී ඔහු උතුරු නැගෙනහිර ප්‍රදේශයේ ආණ්ඩුකාරවරයා‍ ලෙසද කටයුතු කළේය.
වයස අවුරුදු 68 දී 2004 වසරේ සැප්තැම්බර් මස 30වැනිදා ජා ඇල පිහිටි තම නිවසේදී ශ්‍රී ලාංකීය සිනමා සක්විති ගාමිණි ෆොන්සේකා තම රසිකයින්ගෙන් සදාකාලිකව සමුගත්තේය.

 

රජ දැක්ම නරඹන්න

ගායනය: අමරසිරි පීරිස්
සංගීතය: නවරත්න ගමගේ
පද රචනය: චන්ද්‍රරත්න මාපිටිගම
දර්ශන සැපයීම: තිස්ස නාගොඩවිතාන
සංස්කරණය: ටිරාන් ශානුර
නිෂ්පාදනය: කිංස්ලි මොහාන්

--------------------------------------------------------------------------------------------------------------------------

* ඔබගේ ප්‍රතිචාරය අද ලක්දෙරණ වෙබ් අඩවියේ පළ කරනුයේ පහත සඳහන් කොන්දේසි මතය.
පුද්ගලයෙකු හෝ පුද්ගලයින්ට නිග්‍රහ නොකිරීම, අපහස නොකිරීම, අසභ්‍ය සහ පරුස වචන භාවිතා නොකිරීම, ප්‍රතිචාර සඳහා ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ නම් නිර්නාමික ලෙස භාවිතා නොකිරීම, ඉතා දීර්ඝ ප්‍රතිචාර නොදැක්වීම, අදාල පුවතට සම්බන්ධතාවයක් නැති ප්‍රතිචාර දැක්වීම, වෙනත් වෙබ් අඩවි වල පලවූ ප්‍රතිචාර සහ වෙනත් වෙබ් අඩවි ප්‍රචලිත කිරීමේ අරමුණින් කරන්නා වූ ප්‍රතිචාර යන ආදී කරුනු ඇතුලත් ප්‍රතිචාර අද ලක්දෙරණ වෙබ් අඩවියේ පළ නොකරන බව කරුණාවෙන් සැලකිල්ලට ගනු මැනවි.
සියලු පුවත් සඳාහා දක්වා ඇති පාඨක ප්‍රතිචාර "අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස" යටතේ ඔවුන්ගේම අදහස් විය යුතු අතර අද ලක්දෙරණ වෙබ් අඩවිය එම ප්‍රතිචාර සඳහා වග නොකියන බව මෙලෙස ඔබ සැමට අවධාරණය කරමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top