ශ්‍රී ලංකාවේ මුස්ලිම් පොදුසමාජය සහ මුස්ලිම් අන්තවාදය

මුස්ලිම් අන්තවාදය හා මුස්ලිම් පොදුසමාජය අතර වෙනස හඳුනා ගැනීම අපගේ දේශපාලන ව්‍යාපෘථියේ අති අවැසි අංගයකි. මේ මොහොතේ එය එසේ වන්නේ, එකී කොටස් දෙක පැහැදිළි ව වෙන් කරන බෙදුම් ඉර නොපෙනෙන ලෙස ම දෙක එකක් ලෙස අපමත ප්‍රක්‍ෂේපනය වන්නට ඉඩ හැර ඇති හෙයිනි. මෙහි ප්‍රතිඵලයක් ලෙස පසුගිය කාලය පුරාවට සිංහල වන අපට මුස්ලිමුන් ව පෙන්වා සිටියේ මේ රට විනාශ කිරීමට පැමිණි ආක්‍රමණිකයින් පිරිසක් ලෙස ය. එමෙන් ම මුස්ලිමුන්ට සිංහලයින් ව පෙන්වා සිටියේ ඔවුන් ව මේ රටින් අතුගා දැමීමට මාන බලමින් සිටින පිරිසක් ලෙස ය. මහින්ද රාජපක්‍ෂ පැරදවීමේ ම අරමුණ ඇති ව මේ අන්‍යෙන්‍ය කෙටවීම ආරම්භ කළේ ම වත්මන් ආණ්ඩුවේ සිටින රනිල්, මංගල, රාජිත සහයලත් නොර්වේ/ඇමරිකා උපදේශකයින් විසිනි. එහි අවිය වූයේ බොදුබල සේනාවයි. එනම් ඥානසාර හිමි ඇතුළු පිරිසක් 2012 දී නොර්වේ මුදල්වලින් නෝර්වේ රටට ගොස් එරික් සෝල්හයිම් හමු වී යළි මෙරටට විත් පිහිට වූ බොදුබල සේනාව විසිනි. සිංහලයා විසින්, විශේෂයෙන් ම බෞද්ධයා විසින් මේ කුමන්ත්‍රණය සහසුද්දයෙන් ම තේරුම්ගන්නා තුරු අපගේ දේශපාලන අනාගතය ගැන සිතීම ගැටළුසහගත වනු ඇත. පහත එන්නේ ඊයේ මහින්ද රාජපක්‍ෂ සහභාගී වූ මල්වාන ප්‍රදේශයේ මුස්ලිම් ආගමික උත්සවයක හෘදසංවේදී රූප එකතුවකි.

MahindaMuslem MahindaMuslem_2

පසුගිය සමයේ යහපාලන ආණ්ඩුවේ නිරුවත හෙළිවන විට නැවත මෙරට සිංහල, මුස්ලිම් හා ද්‍රවිඩ ජනයා මහින්ද වෙත සේන්දු වෙ‍මින් සිටි බව නොරහසකි. ඒ සැණින් ආණ්ඩුව කල්පනා කළේ තම අවිය වූ බොදුබල සේනාව යළි පෙරට දැමීම ය. නින්දෙන් ඇහැරුණා සේ හෝමාගම උසාවියට ගොස් බොදුබල සේනාව පනින්නේ ඒ සැලසුම ඇතිව ය. ඉන් බොහෝ කුරුල්ලන් බිම හෙළා ගැනීම ඉලක්කගත විය. පළමු කටයුත්ත අත්අඩංගුවට පත්වීම ය. එය එසේ ම සිදුවන ලෙස එහි දී භික්‍ෂූන් හැසිරෙන අයුරු අපි දුටුවෙමු. ඒ මතින් සෙසු අරමුණු ඉටුකරගත හැකි ය. එනම්, ‘සිංහල බෞද්ධයාගේ වීරයා’ ලෙස ද ‘මුස්ලිමුන්ගේ හතුරා’ ලෙස ද සිටින ඥානසාර හිමි අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කිරීම හරහා මුස්ලිමුන් හා ද්‍රවිඩයින් අතර පමණක් නොව සිංහල කතෝලික/ක්‍රිස්තියානින් අතර රනිල් වීරයා බවට පත්කර ගැනීම ප්‍රමුඛතම අරමුණ විය. මේ භික්‍ෂූන් අත්අඩංගුවට ගැනීමෙන් සිංහල බෞද්ධයා අතර විරෝධයක් ඇති නොවේ. එකක් මොවුන්ට බෞද්ධයා අතර කිසිදු ගෞරවයක් නැති වීම ය. අනික නම් එදා හෝමාගම හැසිරීම කිසිදු අයුරකින් භික්‍ෂුවට නොහොබිනා වීම නිසා බෞද්ධයා ඔවුන්ට දඬුවම් පැමිණවීමට එරෙහි නොවීම ය. මේ අතර, මොවුන් ව පාලනය කිරීමට කටයුතු කිරීම අන්තර්ජාතික ව ආණ්ඩුවේ ප්‍රතිරූප නංවන්නකි. එය ද සිදුවිය. තව ද ගොවියාගේ සිට වෛද්‍යවරයා හරහා තොරතුරු තාක්‍ෂණ ඉංජිනේරුවා දක්වා රටතුළ ඇති ආණ්ඩු විරෝධය මාධ්‍යවලින් ඉවත් කොට මේ උද්වේගතර සිදුවීමෙන් සිරතල පිරවිය හැකිවීම ආණ්ඩුව ලත් බෝනසයකි. ඒ අනුව, හෝමාගම නාඩගම හා ඒ ආශ්‍රිත භික්‍ෂූන් අත්අඩංගුවට ගැනීම රනිල්ට හැම අතින් වාසිදායක වූවකි.

මේ ක්‍රියාවෙන්, අදාළ බුද්ධි අංශ ක්‍රියාකාරීන් නිදහස් කර ගැනීම සඳහා කුමන් වාසියක් වුණි ද? අවාසනාව ඒය. කිසිවක් ම නැත. වූවේ නම් අවාසියකි. එනම් මේතාක් ඉතා නෛතික ව මීට එරෙහි ව සිදුකළ විරෝධතා වුව, ජාතිවාදි ලෙස හංවඩු ගසා මර්දනය කිරීමේ හැකියාව ආණ්ඩුව සතුකරගෙන ඇත්තේ ය. හෙළ උරුමය නැමැති කුජීත දේශපාලන පක්‍ෂයෙන් ආරම්භ කරන ලදුව, බොදුබල සේනාව දක්වා රූපාන්තරණය වූ ව්‍යාජ ජාතිකවාදය විසින් ජාතියට කර ඇති වින්නැහිය මෙතරම් ම ගැඹුරු ය.

මහින්ද පතිරණ

--------------------------------------------------------------------------------------------------------------------------

* ඔබගේ ප්‍රතිචාරය අද ලක්දෙරණ වෙබ් අඩවියේ පළ කරනුයේ පහත සඳහන් කොන්දේසි මතය.
පුද්ගලයෙකු හෝ පුද්ගලයින්ට නිග්‍රහ නොකිරීම, අපහස නොකිරීම, අසභ්‍ය සහ පරුස වචන භාවිතා නොකිරීම, ප්‍රතිචාර සඳහා ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ නම් නිර්නාමික ලෙස භාවිතා නොකිරීම, ඉතා දීර්ඝ ප්‍රතිචාර නොදැක්වීම, අදාල පුවතට සම්බන්ධතාවයක් නැති ප්‍රතිචාර දැක්වීම, වෙනත් වෙබ් අඩවි වල පලවූ ප්‍රතිචාර සහ වෙනත් වෙබ් අඩවි ප්‍රචලිත කිරීමේ අරමුණින් කරන්නා වූ ප්‍රතිචාර යන ආදී කරුනු ඇතුලත් ප්‍රතිචාර අද ලක්දෙරණ වෙබ් අඩවියේ පළ නොකරන බව කරුණාවෙන් සැලකිල්ලට ගනු මැනවි.
සියලු පුවත් සඳාහා දක්වා ඇති පාඨක ප්‍රතිචාර "අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස" යටතේ ඔවුන්ගේම අදහස් විය යුතු අතර අද ලක්දෙරණ වෙබ් අඩවිය එම ප්‍රතිචාර සඳහා වග නොකියන බව මෙලෙස ඔබ සැමට අවධාරණය කරමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top