ශ්‍රී ලංකාවේ පුරාණ අර්ථ ක්‍රමය තුළ කාන්තාවට හිමි වූ තැන

වර්තමානයේ සේම අතීතයේ ද මිනිසාගේ ආර්ථික හා සමාජ ජීවිතය රැකීරක්‍ෂා රටාව මත ගොඩනැංවී තිබිණ. එබැවින් පැරණි කෘෂිකාර්මික සමාජයේ පුරුෂ පක්‍ෂය හා සමාන කාර්යභාරයක්‌ කාන්තාවට ද පැවරී තිබිණ. රටේ නිෂ්පාදනය ප්‍රධාන වශයෙන් ම ජනතාවගේ රැකී රක්‍ෂා මත රැඳී පැවතීම නිසා, ආර්ථික කාර්යාවලියේ දී ස්‌ත්‍රී පුරුෂ දෙපක්‍ෂයට නිෂ්පාදන කටයුතුවල යෙදීම අත්‍යවශ්‍ය විය.

පැරණි ඉන්දීය හින්දු ජන සමාජයේ කාන්තාව පිළිබඳ පැවති ගතානුගතික ආකල්පය වූයේ ඇය කායික වශයෙන් ද, බුද්ධිමය සහ ආධ්‍යාත්මික වශයෙන් ද පුරුෂයන් හා සම නොවන බවයි. එබැවින් ඇයගේ කාර්යභාරය භාර්යාවක හා මවක වශයෙන් ඉටුවිය යුතු යුතුකම්වලට සීමා වන බව එකල පිළිගත් මතය විය. එහෙත් ශ්‍රී ලාංකික බෞද්ධ කාන්තාව ගේ දොර කටයුතුවලදී ගෘහණියක හා මවක ලෙස කටයුතු කළා සේම, සිය ස්‌වාමිපුරුෂයාගේ ආර්ථික ක්‍රියාවලියට ද සහය වන්නියක්‌ වූවාය. පැරණි ලක්‌දිව පැවැති ස්‌වයංපෝෂිත සමාජ ක්‍රමයේ දී, කාන්තාව සතු කාර්යභාරය බහුවිධ නිහඬ සේවයක්‌ විය. ඕනෑම සමාජ ක්‍රමයක කාන්තා ශ්‍රමය නිෂ්පාදනය සහ හුවමාරු ක්‍රියාවලිගේ විවිධ අවස්‌ථාවන්ට සම්බන්ධව සාමාන්‍යයෙන් සිදු වන්නක්‌ වුවද කවර කාර්යයක්‌ අරභයා, කුමන පරිමාණයකින් කාන්තා සේවා නියුක්‌තිය පැවතුනේද යන්න දැක්‌වීම එතරම් පහසු නොවේ.

පුරාතන ශ්‍රී ලංකා සමාජයේ කාන්තා සේවා නියුක්‌තිය පිළිබඳව අධ්‍යයනය කිරීමේ දී මූලික සැලකිල්ලට හසුවිය යුතු කරුණක්‌ ඇත. එනම් සමාජ ව්‍යqහය පදනම් කර ගත් සමාජීය ශ්‍රම විභජනය කාන්තා ශ්‍රමය කෙරෙහි කෙසේ බලපෑවේ ද යන්නයි. පැරණි ලක්‌දිව සමාජයද මූලික වශයෙන්ම කෘෂිකාර්මික සමාජයක්‌ විය. ක්‍රි.පූ. 6 වැනි සියවසේ සිට ක්‍රි.ව. 15 වන සියවස දක්‌වා වූ කාලය තුළ ලක්‌දිව කෘෂිකාර්මික, ආර්ථික හා සමාජ සංවිධානය වැදගත් වෙනස්‌කම්වලට ලක්‌වී ඇත.

ඕනෑම ඓතිහාසික යුගයක යම්කිසි කණ්‌ඩායමක සේවා නියුක්‌තිය තීරණය කරන ප්‍රධාන සාධක කිහිපයක්‌ ඇත. එනම් එම සමාජයේ පවතින පුරුෂාර්ථ, අවශ්‍යතා රටාව, සම්පත් ස්‌වභාවය සමාජ සංකීර්ණත්වය සහ අදාළ කණ්‌ඩායමට සමාජ සංස්‌ථාවේ හිමි වී ඇති ස්‌වභාවයයි. පැරණි ලක්‌දිව පැවතියේ බුදු දහම පදනම් කරගත් සංස්‌කෘතියකි. එම නිසා එම ජීවන රටාව සරල වූ අතර එය සීමාසහිත අවශ්‍යතාවන් ගෙන සමන්විත විය.

මෙලෙස සීමාසහිත අවශ්‍යතාවන් බොහෝ දුරට තමා විසින්ම අවට පරිසරයෙන් සපයා ගැනීමත් පීතෘමූලික සංස්‌ථාවක්‌ පැවතීමත් නිසා කාන්තාවට ගෙදර දොරේ, ගෙවත්තේ, හේනේ සහ කුඹුරේ කළ යුතු වැඩ කොටස ඉතා විශාල විය. පැරණි ලක්‌දිව අර්ථ ක්‍රමය අනුව කාන්තාව ආදායම් ඉපයීමේ කාර්යයේ දී සම වශයෙන් හෝ ද්විතීය වශයෙන් හෝ ඒ සඳහා සිය ශ්‍රමය මෙහෙයවූවාය. මෙලෙස ගෘහස්‌ථ ජීවිතයේ දී ගැමි කාන්තාවක විසින් ඉටු කරන ලද කාර්යයන් අතර ගොවිතැන් කිරීමේ දී සහය වීම, ධාන්‍ය වර්ග ප්‍රවාහනය සහ ගබඩා කර ගැනීම, එම ධාන්‍ය වර්ගවලින් විවිධ ආහාර සකස්‌ කිරීම සහ එසේ සකස්‌ කරගත් ආහාර ද්‍රව්‍යවලින් කෑම පිස ගැනීම ප්‍රධාන විය.

වී ගොවිතැනේ දී කෙතේ කටයුතු පිළිබඳ ක්‍රියාදාමයට කාන්තාවෝ ද සහභාගි වූහ. වී වගා කටයුතුවලදී කාන්තාව සහභාගි වූයේ ඇතැම් කාර්යයන්ට පමණක්‌ ය යන මූලික ලක්‍ෂණය රීතියක්‌ වශයෙන් පොදුවේ ක්‍රියාත්මක වූ බව දැක්‌විය නොහැකිය.

වප් මඟුල් උත්සවය වී ගොවිතැන හා සම්බන්ධ වැදගත් උත්සවයක්‌ විය. වප් මාසයේ දී වාර්තාව ලැබීම නිසා පොළව පෙඟී යැමෙන් වී ඇට හොඳින් පැළ වේ.

එබැවින් වී වැපිරීමද වප් මාසයේ සිදු කෙරිණ. වී වැපිරීමේ මෙම මහා උත්සවයට ස්‌ත්‍රි, පුරුෂ සියලු දෙනාම සහභාගි වූහ. කාන්තාවන්ද පුරුෂයන් මෙන් ශ්‍රමය බෙදා ගනිමින් සහජීවනයෙන් යුතුව වප් මඟුල් උත්සවයට සහභාගි වූ අයුරු “සද්ධර්මාලංකාරයේ” සඳහන් වේ.

“උන්ගෙන් මහත් වූ වප් මඟුලෙක්‌ විය. නොයෙක්‌ සිය ගණන් මනුෂ්‍යයෝ කර්මාන්තයෙහි නියුක්‌ත වූවා හු. සර්වාංගයෙන් ධවල වූ සුදු ගොනුන් කසා නාවා, කර පොල් ආභරණ පළඳවා, අංවලට රං, රිදී කුප්පි බහා, පය රන් රසු බැඳ සර්වාලංකාරයෙන් සරසා, නඟුල් වියදඬු ආදියෙහි සියලු මනුෂ්‍යයෝ තම තමන්ගේ විභවානු රූප පරිද්දෙන් නොයෙක්‌ කන බොන දැ සපයා කමින් බොමින් සර්වාභරණයෙන් සැරසී සමහරෙක්‌ සාති. සමහරෙක්‌ වපුරති, ගෙවල ස්‌ත්‍රී ජනයෝද එපරිද්දෙන්ම වස්‌ත්‍රාභරණයෙන් සැරසී මහත් වූ උත්සවයෙන් වපුරති”.

(සද්ධර්මාලංකාරය, දුබ්බිට්‌ඨි තිස්‌ස වස්‌තුව, 707 පිටුව)
එසේම හේන්වල ධාන්‍ය වැපිරීමද ඇතැම් විටක කාන්තාව අතින් සිදුකෙරිණ.
“නත්ථෙකා දුග්ගතා ඉත්ථි පොත්තිනත්ත නිවාසීනී
කංගුනං ලාබ්‍රං පුරෙත්වා ඛෙත්තං ගච්ඡති චාපිතුං”
සීහළ වත්ථුප්පකරණං, ආචාර්ය බුද්ධදත්ත මහා ථෙරෙන පටිසංඛතං, අනුලා යන්ත්‍රණාලය, 1959, දුට්‌ඨගාමිණී රඤ්ෙÆa වත්ථූ, 20 ගාථාව, 112 පිටුව)

යනුවෙන් සීහළවත්ථුප්පකරණයේ සඳහන් වන්නේ එක්‌තර දුගී ස්‌ත්‍රියක “කංගු” නැමති ධාන්‍ය පිරවූ ලබු කැටයක්‌ ගෙන වැපිරීම සඳහා හේනට ගිය ආකාරය යි.

එලෙස වී ඉසීමෙන් පසු ගොයම් කපා කමතට ගෙන යන මෙතෙක්‌ කුඹුරේ කළ යුතුව පැවති කටයුතු රාශියක්‌ විය. ගොයම් වැඩෙන කාලයේ දී නෙළීම ඉන් වැදගත් කාර්යයකි. වී ඉසින විට ඇතැම් තැනකට වැඩියෙන් ද තවත් කැනකට අඩුවෙන් ද වැටෙන නිසා, වී පැළවීමෙන් පසුව ගොයම් පැළ වැඩිපුර ඇති ස්‌ථානවලින් ගලවා පාළු තැන්වල සිටුවීම නෙළීම යනුවෙන් අදහස්‌ කෙරේ. මෙම කටයුත්ත විශේෂයෙන්ම කාන්තාවන් විසින් සිදු කරන ලදී. (දිසානායක, ඡේ. බී., “කුඹුරු ගොවිතැන්”, මහවැලි වංශය, 2 වැනි කාණ්‌ඩය, මහවැලි සංවර්ධන අමාත්‍යංශය, 1985, 557 පිටුව)

මේ අතරේ දී ගොයම් පැළවලට බාධාවන වල් පැළෑටි ගැලවීම ද ඇය අතින්ම සිදු විය. කුඩා දරුවන් සිටින මව්වරු පවා ඔවුන් රැගෙන කුඹුරට හෝ හේනට හෝ ගොස්‌ ස්‌වාමිපුරුෂයන්ට සහය වෙමින් එවන් කර්මාන්තයෙහි නියුක්‌ත විය. මේ ගැන සනාථ කරන කථාවක්‌ සද්ධර්මාලංකාරයේ, “නන්දිමිත්‍ර වස්‌තුවේ” දැක්‌වේ. එසේම මෙකල කාන්තාවන්ගේ භාරදූර වගකීමක්‌ වූයේ වපුල කුඹුරු ආරක්‍ෂා කිරීමයි. වී පැසෙන මුළු කාලය තුළ දී එය නොකඩවාම කළ යුතු විය.

“පැසෙන මස මුළුල්ලෙහි බස බරළ වන තුරු හඬඟ හඬගා කුඹුරෙහි ඒ මුල්ලෙන් ඒ මුල්ලට දිව දිව කම්සේ නැතිව කුරුළු, කොබෝ, ගිරා ආදී වූ වී කන සතුන් බිණුව මැනව”.

පූජාවලිය, ඥාණවිමල, කිරිඇල්ලේ (සංස්‌.), එම්. ඩී. ගුණසේන සහ සමාගම, තෘතීය මුද්‍රණය. 1986, 376 පිටුව) යන පූජාවලී පාඨයෙන් ගම්‍ය වන්නේ කාන්තාව කුඹුරු යායක ඒ මේ අත දුව පනිමින් හඬ නගා කෑ ගසමින් කුරුල්ලන් පලවා හැරී ආකාරයයි. කුඹුරක වගා කරන වී වර්ග අනුව කුඹුරක්‌ ආරක්‍ෂා කරන ආකාරය ද අඩු වැඩි වූ බව පෙනී යයි. පූජාවලියට අනුව හීනටි වී වැපිරූ කුඹුරක්‌ හත් මාසයක්‌ ද කුරුල්ලන්ගෙන් රැකිය යුතු විය.

අස්‌වැන්න පැසෙන කාලයේ දී කෙත් යායට පැමිණෙන කුරුල්ලන් ගෙන් කුඹුරු ආරක්‍ෂා කිරීමේ කටයුත්ත විශේෂයෙන් දැරියක හෝ තරුණියක විසින් කරන ලද්දක්‌ බවයි. කුරුලු කොබෙයියන් පලවා හැරීම ඇයට විනෝදය ගෙන දුන්නේය. ගී සින්දු ගායනා කරමින් ඇය එම කාර්යයෙහි නිරතවූයේ එබැවිනි. සද්ධර්මරත්නාවලියේ ද සද්ධර්මලංකාරයේ ද සින්දු කියමින් කෙත් ආරක්‍ෂා කළ දැරියන් පිළිබඳ රසවත් තොරතුරු ඇත.

මෙලෙස මඩ ගොයමේ දී මෙන්ම ගොඩ ගොයම් වගාවේ දීද කාන්තාවගේ සහයෝගය නොමඳව පුරුෂයන්ට ලැබිණ. මහ ඇල් හේන් පිළිබඳ විස්‌තර සාහිත්‍යයේ නොයෙක්‌ අවස්‌ථාවල සඳහන් වේ. පොළොන්නරු යුගයේ සිට හේන් ගොවිතැන ව්‍යාප්තව පැවතිණ. ඇල් හේන්වල බොහෝ විට වී. උඳු, මුං, මෑ වැනි ධාන්‍ය වර්ග වගාකරන ලදී. ගම්පොළ සහ කෝට්‌ටේ යුග වන විට ඇල් කෙත් වගාව ඉතා සරුව පැවති බවත්, ඒවා ආරක්‍ෂා කිරීම කාන්තාවන්ගේ කාර්යභාරයක්‌ වූ බවත් ඇල් ගෙවිලියන් ගැන වර්ණනා සංදේශ කාව්‍යවල සඳහන්ව තිබීමෙන් පෙනී යයි.

තිසර, පරවි, සැළලිහිණි, ගිරා, කෝකිල, සැවුල් ආදී සෑම සංදේශ කාව්‍යයකම ඇල් ගෙවිලියන් ගැන කරන වර්ණනා හමු වේ.

වී නිෂ්පාදනයේ දී කාන්තා සහභාගිත්වය යොමු වූ තවත් කාර්යයක්‌ වූයේ ගොයම් කැපීමයි. ගොයම් කැපීමෙන් පසුව වී බොල් පෙළීම සහ පිදුරු සැලීමේ කාර්යය කාන්තාවන්ට පැවරිණ. කුඹුරු හෝ හේන් හෝ සෑම කටයුත්තකදීම තමාගේ පියාට හෝ ස්‌වාමියාට හෝ සහය වීම පැරණි සමාජයේ කාන්තාව තුළ දක්‌නට ලැබුණ විශේෂ ලක්‍ෂණයකි. නිවසේ හෝ ගෙවත්තේ කාන්තාවට කොතෙක්‌ වැඩ තිබුණ ද පුරුෂයන් හා සහයෝගයෙන් ගොවිතැන් කටයුතු කිරීමට ද ඇය මැලි නොවූවාය.

කුඹුරේ සහ හේනේ ගොවිතැන් කටයුතුවල නියුතු පියාට හෝ සැමියාට හෝ ඥතීන්ට හෝ දිවා ආහාරය සකස්‌ කර ගෙන යැමද පැවරුණේ කාන්තාවටය. මෙම කටයුත්තේ දී රාජකුමාරිකාවෝද සහභාගි වූහ. පණ්‌ඩුකාභය රජතුමාගේ මාමණ්‌ඩිය වූ ගිරිඛණ්‌ඩ ශිව, කුඹුරේ ගොවිතැන් කරමින් සිටි අවස්‌ථාවේ ඔහුගේ දූ වූ පාලි කුමරිය සිය පිරිවර හෙහෙළියන් ද සමඟ තම පියාණන්ට සහ ගොයම් කපන්නන්ට කුඹුරට බත් ගෙනගිය අයුරු මහාවංශයේ මෙසේ විස්‌තර වේ.
“සා මහා පරිවාරෙන යානං අරුයහ සොභනං – පිතු භත්තං ශාහිත්වා ලාවකානඤච ගච්ඡන්ති”
(මහාවංශය, 10 වැනි පරිච්ඡේදය, 31 ගාථාව)

සුභ රජුගේ දුව ද (ක්‍රි.ව. 60-67) උළු වඩුවෙකු වූ තමා ඇති දැඩි කරගත් පියාණන් සේවය කරමින් සිටි කර්මාන්ත ස්‌ථානයට බත් ගෙනගිය බව මහාවංශයේ සඳහන් වේ. රාජ කුමාරිකාවන් මෙවන් කටයුතුවලට සහභාගි වූයේ කලාතුරකින් වුවත් කෘෂිකර්මය ප්‍රධාන ජීවනෝපාය වූ ගැමි සමාජයේ කාන්තාව අනිවාර්යෙන්ම ඒ කටයුත්ත ඉටු කළාය. ගැමියන් බොහෝවිට ජීවත් වූයේ වැව් ඉස්‌මත්තේ වූ ගම්ගොඩේය. ජල සම්පාදන පහසුව නිසා කුඹුරු සකස්‌කරන ලද්දේ වැව පාමුලය. ඉර මුදුන්වන විට ගැහැනුන් ඇඹුල රැගෙන වෑ කණ්‌ඩිය දිගේ කුඹුර වෙත යැම ඔවුන්ගේ දෛනික ජීවිතයේ අනිවාර්ය සිද්ධියක්‌ විය. කීර්ති ශ්‍රී මේඝවර්ණ රාජ්‍ය සමයේ පිහිටුවන ලද තෝනිගල ශිලා ලේඛනයේ “පිටදඩහස”, “අකලහස”, “මදෙනස” ලෙස වසරකට තෙවරක්‌ යල, මහ සහ මැද යනුවෙන් ගොවිතැන් කිරීමෙන් අස්‌වැන්න නෙළන වාර 03 පැවැති බව ගම්‍ය වේ. එවන් වකවානුවලදී කාන්තාව සතු කුඹුරේ වැඩ කටයුතු තවත් අධික විය (Paranavitana, S.Epigraphia Zeylanica, Vol. III, P. 177).

එසේම අස්‌වැන්න නෙළා ගැනීමෙන් පසුව ගවයන් යෙදූ ගැල්වලින් හෝ මිනිසුන්ගේ කරපිටින් හෝ කුඹුරේ සිට නිවසට ධාන්‍ය වර්ග ප්‍රවාහනය කරන ලදී. එසේ නිවසට ගෙනෙන ලද වී ආදිය වේලා ගබඩාකර ගැනීමේ කාර්යය ඉටු වූයේ ගෘහණිය ගෙනි. මහලු කාන්තාවන් පවා වී අව්වේ දමා වේලීමේ යෙදුන බව “එකා මහලලිකා විහිං සොසෙතුං ආතපෙ බිරි” යන මහාවංශයේ, 21 වැනි පරිච්ඡේදයේ 27 වැනි ගාථාවෙන් පැහැදිලි වේ. එලෙස අව්වෙන් හෝ ගින්නෙන් හෝ වී වේලා, තම්බා, කොටා, දහයියා සහ කුඩු ඉවත් කොට, සුණු සාල් වෙන්කර බත පිළියෙල කර ගැනීම ගෘහණිය විසින් ඉටුකළ යුතු ප්‍රධාන සහ වැදගත් කාර්යයක්‌ ලෙස සමාජයේ සෑම ප්‍රදේශයකම සැළකිණ.

කුඹුරේ සහ හේනේ වැඩ අධික අවස්‌ථාවල දී ගෙදර දොරේ දෛනික කටයුතු සියල්ල දිවා කාලයේදී අවසන් කරගත නොහැකි විය. එම අවස්‌ථාවලදී නිදි නොලබා රාත්‍රී කාලයේ පවා ඇතැම් කටයුතු වල නියුක්‌ත වීමට ඇතැම් කාන්තාවන්ට සිදු විය. වී කෙටීමෙහි නිරත වූ කාන්තාවන් පිළිබඳ තොරතුරු හතරවන මහින්ද රජතුමාගේ මිහින්තලා පුවරු ලිපිවල සඳහන්ව ඇත. ( Epigraphia Zeylanica, Vol. I, P. 109).

එසේම කුඹුරේ හේනේ සහ නිවසේ මෙන්ම ගෙවත්තේ ද ඇය විසින් වගා කරන්නට යෙදුන කැකිරි, පුහුල්, තියඹරා, ලබු, තිබ්බටු, බෝංචි ආදී එළවළු වර්ග සහ උක්‌, අඹ, වැල, වරකා, දඹ, කෙසෙල් ආදී පලතුරු වර්ග පිළිබඳව ද නොයෙක්‌ තොරතුරු වංශකථා ඇතුළු පැරණි සාහිත්‍ය කෘති වලින් හමු වේ. වනයේ ඇවිද පලාවර්ග සහ දර ආදිය සපයා ගැනීමේ කාර්යය ද ඇයට පැවරී තිබිණ. අප්‍රකටව වාසය කරන අවධියේ දී වට්‌ටගාමිණී අභය රජතුමාගේ (ක්‍රි.පූ. 89(-77) මෙහෙසිය පවා පළා නෙළාගැනීම පිණිස පැසක්‌ රැගෙන වනයට ගියේ එබැවිනි. මෙම කරුණුවලින් පෙනී යන්නේ පැරණි ලක්‌දිව කාන්තාව කෘෂිකාර්මික කටයුතුවලදී ස්‌වාමියා සමග සහයෝගයෙන් යුතුව කටයුතු කිරීමට යොමු වූ ආකාරයයි.

එසේම පශු පාලනය සහ කිරිපට්‌ටි පාලනය පැරණි ලක්‌දිව ආර්ථික පදනමේ වැදගත් අංගයක්‌ ලෙස සැලකිණ. මඩ ගොවිතැන සඳහා ගවයන් ද පස්‌ගෝරස ලබා ගැනීම සඳහා එළදෙනුන්ද ඇති කිරීම අත්‍යවශ්‍ය විය. එළ දෙනුන්ගෙන් කිරි දොවා ගන්නා ලද්දේ ගෘහණියයි. රෝහණ ජනපදයේ වාසය කළ තිස්‌සා නම් කාන්තාවක උදේ සවස නොවරදවා එළදෙනුන් ගෙන් කිරි දොවාගත් පුවතක්‌ සද්ධර්මාලංකාරයේ සඳහන් වේ. දෙනුන්ගෙන් කිරි දොවා ගැනීම එකල සමාජයේ ගරු කටයුත්තක්‌ ලෙස සැලකිණ.

එසේම හකුරු, මී පැණි යනාදිය ද සිංහල ජනයාගේ ජනප්‍රිය ආහාර විශේෂ වූ බව අනුරාධපුර යුගයේ පටන් කෝට්‌ටේ යුගය දක්‌වා පැවැති සෑම යුගයකටම අයත් සාහිත්‍ය මූලාශ්‍රවල උක්‌ හකුරු කර්මාන්තය පිළිබඳ නොයෙක්‌ තොරතුරු සඳහන් වීමෙන් පැහැදිලි වේ. උක්‌ සකුරු නිෂ්පාදනය කිරීම සඳහා කර්මාන්ත ශාලා පැවතියද බොහෝ අවස්‌ථාවල දී උක්‌ ඇඹරීම සහ උක්‌ පැණි නිෂ්පාදනය කිරීම සිය නිවසේදීම කාන්තාව විසින්ම ඉටුකර ගන්නා ලදී.

මහාසංඝරත්නයට පූජා කිරීම සඳහා හෝ හදිසියේ නිවසට පැමිණෙන ආගන්තුකයන්ට සංග්‍රහ කිරීම සඳහා හෝ ගෘහණිය උක්‌ පැණි සහ උක්‌ සතුරු මෙසේ නිෂ්පාදනය කොට රැස්‌කර තබා ගත්තා ය. අභයගිරි විහාරයේ සිට හදිසියේ දන් පිණිස පැමිණි භික්‍ෂුන් පන්සීයකට, කිසි කරදරයක්‌ නොමැතිව උක්‌ පැණි සහ උක්‌ සකුරු මිශ්‍ර ආහාරයක්‌ සකස්‌ කර පූජා කිරීමට එක්‌තරා ගොවි බිරියකට හැකි වූයේ එලෙස සුරක්‍ෂිතව උක්‌ පැණි සකස්‌ කරගෙන තිබූ බැවිනි. මේ පිළිබඳ සඳහන් වනුයේ රසවාහිනියේ 116 පිටුවේය.

එසේම පැරණි ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය අතරට කපු වගාවට ද විශේෂ තැනක්‌ ලැබිණ. ලක්‌දිව පූර්ව රාජ්‍ය සමයේ සිටම කපු කර්මාන්තය පැවැති බවට සාධක ගල්කන්දේගම සහ හිට්‌ටාරගමහින්න ප්‍රදේශයෙන් සොයාගනු ලැබූ බ්‍රාහ්මී ලිපිවලින් ලැබේ. එම ලිපිවල “පෙහෙකර” වශයෙන් දැක්‌වෙන්නේ පේෂ කර්මාන්තයේ නියුක්‌ත වූ අය පිළිබඳව ය. ගල්කන්දේගම ලිපියේ පෙහෙකර ගමක්‌ පිළිබඳ සඳහන් වේ.

කාන්තාව කපු කැටීමේ නියුක්‌ත වීම ලංකාවේ ලිත ඉතිහාසය තරම්ම ඈතට දිවයයි. ක්‍රි.පූ. 5 වන සියවසේ පමණ විජය කුමරු ඇතුළු පිරිස ලක්‌දිවට ගොඩබසින අවස්‌ථාවේ දී කුවේණි නම් යක්‍ෂනිය කපු කටින තවුසියක සෙයින් රුක්‌ මුලක හුන් බවද මහාවංශයේ සඳහන් වේ.

පැරණි සමාජයේ කාන්තාව ගොවි ඉඩම්වල හා වැව්වල අයිතිකාරියන් ද වූවාය. ආදි කාලීන ශිලා ලේඛන අනුව ආදි කාලීන මෙරට කාන්තාව තම ඉඩම්වල ලෙන් භික්‍ෂුන්ට පිදූ බව සඳහන් වේ. මෙබඳු දෙයක්‌ ඔවුන්ට කළ හැකි වූයේ කාන්තාව සතුව භූමිය හා සම්පත් පැවැති බැවිනි. මේ අනුව මෙරට කාන්තාව බ්‍රාහ්මණ න්‍යාය ධර්මවලට යට වූ පැරණි ඉන්දීය කාන්තාවට වඩා ස්‌වාධීනත්වය පෙන්නුම් කළ බව කිව හැකි ය. ගෝඨාභය රජුයේ කාලයට අයත් පර්වත ලිපියක අනුලභි නම් කාන්තාවක්‌ ගස පවත විහාරයට තමා සතු වූ වැවකින් කොටසක්‌ පූජා කළ බව සඳහන් වේ. මෙයද මෙකල කාන්තාව ඉඩම් මෙන්ම වාරිමාර්ග මෙන්ම ක්‍ෂේත්‍රයේ කෘෂිකර්මාන්තයට අදාළ වැව්වල හිමිකාරියන් වූ බවටද සාධකය කි. මේ අනුව ක්‍රි.පූ. යුගවල සිටම මෙරට කාන්තාව ආර්ථිකය වශයෙන් ශක්‌තිමත් තත්ත්වයක සිට ඔවුන් පිරිමින් සේම කෘෂිකර්මාන්තයට දායක වූ අතර එමනිසා ලක්‌දිව කාන්තාව බ්‍රාහ්මණ සමාජයේ කාන්තාවට වඩා හාත්පසින්ම වෙනස්‌ වූ බව සඳහන් කළ හැක.

එසේම ලංකාවේ රාජ්‍ය කළ රැජිනන්ද තම සේවය කෘෂිකර්මාන්තය සඳහා ලබා දින. පොළොන්නරුවේ පළමුවන පරාක්‍රමබාහු රජුගේ බිසව වූ ලීලාවතී රැජින විසින් අනුරාධපුරයේ තමා විසින් කරවන ලද දානශාලාවේ “නිති දන් පවත්නා පරිද්දෙන් හිර සඳ පමුණු කොට හකරගොඩ වරුපතින් බිජුවට තුන් යාලක්‌ හා කිළිනොවියළින් යාලක්‌ ද දුන් බව රැජිනගේ කාලයට අයත් පුවරු ලිපියක සඳහන් වේ. ( Epigraphia Zeylanica, Vol. I, P. 109).

එසේම පොලොන්නරු යුගයේ කරවන ලද වාරිමාර්ග ප්‍රතිසංස්‌කරණයක්‌ පිළිබඳ මිනිපේ පුවරු ලිපියෙන් හෙළිවේ. ( Epigraphia Zeylanica, Vol. V, P. 158). මේ ලිපියට අනුව I වැනි අග්බෝ රජු දවස අරඹන ලද දෙවන සේන රජු දවස තවත් සැතපුම් 47 පමණ දීර්ගකොට තිබූ මිනිපේ ඇළ කල්‍යාණවතී රැජිනගේ කාලයේ නැවත ප්‍රතිසංස්‌කරණය කරනු ලැබීය.

මේ අනුව පෙනී යන්නේ පැරණි කෘෂිකාර්මික සමාජයේ පුරුෂ පක්‍ෂය හා සමාන කාර්යභාරයක්‌ කාන්තාවටද පැවරී තිබුණ බවයි.

ලංකා රජී නිශ්ශංක

මුලාශ්‍රය: දිවයින

--------------------------------------------------------------------------------------------------------------------------

* ඔබගේ ප්‍රතිචාරය අද ලක්දෙරණ වෙබ් අඩවියේ පළ කරනුයේ පහත සඳහන් කොන්දේසි මතය.
පුද්ගලයෙකු හෝ පුද්ගලයින්ට නිග්‍රහ නොකිරීම, අපහස නොකිරීම, අසභ්‍ය සහ පරුස වචන භාවිතා නොකිරීම, ප්‍රතිචාර සඳහා ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ නම් නිර්නාමික ලෙස භාවිතා නොකිරීම, ඉතා දීර්ඝ ප්‍රතිචාර නොදැක්වීම, අදාල පුවතට සම්බන්ධතාවයක් නැති ප්‍රතිචාර දැක්වීම, වෙනත් වෙබ් අඩවි වල පලවූ ප්‍රතිචාර සහ වෙනත් වෙබ් අඩවි ප්‍රචලිත කිරීමේ අරමුණින් කරන්නා වූ ප්‍රතිචාර යන ආදී කරුනු ඇතුලත් ප්‍රතිචාර අද ලක්දෙරණ වෙබ් අඩවියේ පළ නොකරන බව කරුණාවෙන් සැලකිල්ලට ගනු මැනවි.
සියලු පුවත් සඳාහා දක්වා ඇති පාඨක ප්‍රතිචාර "අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස" යටතේ ඔවුන්ගේම අදහස් විය යුතු අතර අද ලක්දෙරණ වෙබ් අඩවිය එම ප්‍රතිචාර සඳහා වග නොකියන බව මෙලෙස ඔබ සැමට අවධාරණය කරමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top