වැරදි නිවැරැදි කිරීමට ඉතිහාසයෙන් ඉඩ ලැබේද..?

මහින්ද රාජපක්‍ෂ සහ සෝමවංශ අමරසිංහ යනු ශ‍්‍රී ලංකා ඉතිහාසය වෙනස් කිරීමට සුවිශේෂී දායකත්වයක් ලබාදුන් දේශපාලන නායකයින් දෙපළක් බවට විවාදයක් නැත. මෑත කාලීනව ශ‍්‍රී ලංකා ඉතිහාසය තුළ දීර්ඝ කාලීනව සමාජ දේහය මත ඇති කරන ලද බලපෑමට සාපේක්‍ෂව, එම දෙපළ දෙවැනි වන්නේ රෝහණ විජේවීරයන්ට පමණි.  අද එම දෙපළම වේදිකාවන් දෙකක සිට නැවත වටයකින් ඉතිහාසයේ විනිශ්චයට මුහුණ දෙමින් ඇත. එදා 2009 දී මහින්ද රාජපක්‍ෂ නමැති සේනාධිනායකයා ගෝඨාභය රාජපක්‍ෂලා සහ සරත් ෆොන්සේකලා වැනි සුවිශේෂී හමුදා නායකයින්ගේ දායකත්වයෙන් නන්දිකඩාල් කළපුව අසල දී අවසන් කරන්නේ රෝහණ විජේවීරයන් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය සමග එක්ව 1987 දී පිටකොටුවෙන් ආරම්භ කළ බෙදුම්වාදී විරෝධී යුද්ධය බව අප මීට පෙර පෙන්වාදී ඇත. විජේවීරයන්ගේ උපාය මාර්ගික පදනම මත නිවැරදිව සිටගනිමින් යුද්ධය අවසන් කිරීම සදහා අවශ්‍ය ජනවරම 2005 දී නිර්මාණය කිරීම සදහා තීරණාත්මක උපාය මාර්ගික දායකත්වය සැපවූයේ සෝමවංශ අමරසිංහයන් විසිනි. ඒ අනුව එදා මහින්ද රාජපක්‍ෂට සහ සෝමවංශ අමරසිංහයන්ට එක්ව වැඩ කිරීමට බලකරන්නේ විජේවීරයන් විසින් බව පිළිගැනීමට සිදුවේ.

80 දශකයේ දී වාමාංශික පක්‍ෂ විසින් බෙදුම්වාදී යුද්ධය විමුක්ති අරගලයක් ලෙස නිර්වචනය කරද්දී රෝහණ විජේවීරයන් විසින් කොටි සංවිධානය හඳුන්වනු ලැබුයේ අධිරාජ්‍යවාදී කුලී හමුදාවක් ලෙසය. ඔහු එදා එවැනි බරපතල චෝදනාවක් එල්ල කරන්නේ බෙදුම්වාදී යුද්ධයේ උපාය මාර්ගික

ප‍්‍රවේශය පිළිබදව ගැඹුරු අවබෝධයක් ඔහුට තිබුණ නිසාය. ඔහු 1985 දී තම පක්‍ෂයට එම අවබෝධය ලබාදීම සදහා ‘දෙමළ ඊළාම් අරගලයට විසඳුම කුමක්ද?’ යනුවෙන් ශාස්ත‍්‍රීය නිබන්ධනයක් ඉදිරිපත් කළේය. අද වනතුරු සෝමවංශ අමරසිංහයන් හෝ ජනතා විමුක්ති පෙරමුණ විජේවීරයන්ගේ විග‍්‍රහයන් ප‍්‍රතික්‍ෂ්පකොට නැත.

රෝහණ විජේවීරයන් තමාගේ ඒ උපාය මාර්ගික දැක්ම මත පිහිටා තෝරන ලද දේශපාලන ක‍්‍රියාමාර්ග තුළ තමා ඇතුළු තම පක්‍ෂයේ සාමාජිකයින් දස දහස් ගණනකගේ ජීවිත පරිත්‍යාග කළේය. ‘අධිරාජ්‍ය විරෝධී අරගලය තුළින් සමාජවාදයට’ යනුවෙන් ඔහු විසින් ඉදිරිපත් කළ මහා උපාය මාර්ගය තුළ ඒ සියලූ පරිත්‍යාග සාධාරණීකරණය කෙරිණි. එහිදී අධිරාජ්‍යවාදීන්ගේ තීරණාත්මක සටන් බිම හෙවත් දේශපාලන අධිරාජ්‍යවාදයේ මහා සටන් බිම බෙදුම්වාදය බව අවිවාදයෙන් පිළිගැනුණි. ඒ අනුව එදා 2005-2006 කාලයේදී මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව අධිරාජ්‍ය විරෝධී අරගලයේ සටන් සගයා බවට පත්කර ගැනීමට සෝමවංශයන් ගත් උත්සාහය ජ.වි.පෙ මහා උපාය මාර්ගයට අනුකූලවේ.  නමුත් ඒ සටන අතරමගදී අද සෝමවංශයන් කියන ආයුබෝවන් කීමට නොදන්නා සහ පන්සිල් රකින එහෙත් ප‍්‍රසිද්ධියේ පන්සිල් ගැනීමට බිය පිරිස් විසින් පීලි පන්න වන ලද බව සෝමවංශයන්  පිළිගනියි. 2006 දී පක්‍ෂය භාග තීන්දුවක් ගත්තා යයි සරල වචනයෙන් ඔහු කීමට උත්සාහ කරන්නේ එදා සිදු කළ උපාය මාර්ගික වරද පිළිබදවය.

නමුත් එම වරද නිවැරැුදි කිරීම සදහා ඔහු ප‍්‍රබල මැදිහත්වීමක් කරන්නේ නැත. ෙඓතිහාසිකව යම් දේශපාලන පක්‍ෂයක් උපාය මාර්ගිකව පීලි පනින්නේ නම් ඒ පක්‍ෂය ඒ වෙනස මත දෙකඩ වීම න්‍යායාත්මකව තර්කානුකූලව පිළිගත හැකි තත්වයකි. උපාය මාර්ගික වරදක් බහුතරය කැමතිවූ පමණින් කිසිසේත්ම නිවැරැදි වන්නේ නැත. උපක‍්‍රමික වරදකදී බහුතර කැමැත්ත මත තේරීම් සිදු කිරීම යම් පමණකට පිළිගත හැකි තත්වයකි. එහෙත් ඒ උපාය මාර්ගික වරද එනම් මහින්ද රාජපක්‍ෂයන් සමග කැදවාගත් අධිරාජ්‍යවිරෝධී සටන අතරමගදී අත්හැරීම නිවැරැදි කිරීම සදහා සෝමවංශ අමරසිංහයන් බරපතල මැදිහත්වීමක් සිදු කළේ නැත. එදා ඔහුට පක්‍ෂය තුළ තිබූ කේවල් කිරීමේ බලය මත තද ස්ථාවරයක සිට තීන්දු තීරණ නැවත සලකා බැලිය යුතු බවට දැඩි බලපෑමක් සිදු කළ හැකිව තිබුණි. එදා නිසි අවස්ථාවේදී එම බලපෑම කළා නම් ඔහුට අද තමා ආදරය කළ පක්ෂයෙන් එළියට බැසීමට සිදුවන්නේ නැත. එදා එම නිවැරැදි කිරීම සදහා අවශ්‍ය වූයේ වරද නිවැරැදි නොවන්නේ නම් පක්‍ෂයෙන් ඉවත්ව යන බවට ‘තර්ජනය’ කිරිම පමණි.

උපාය මාර්ගික තීන්දුවක ප‍්‍රතිඵලදායකත්වය සෑම විටම කාලයට සාපේක්‍ෂවේ. එදා වසර 9කට පෙර කළ යුතුව තිබූ දේ අද කිරීමෙන් අපේක්‍ෂිත ප‍්‍රතිථල ලබාගත නොහැකි බව වෙනකාටත් වඩා හොදින් සෝමවංශ අමරසිංහයන් දන්නා බවට සැකයක් නැත. එම වරදට පක්‍ෂය විශාල වන්දියක් ගෙවා ඇති බව ඔහු වක‍්‍රව පිළිගනියි. නමුත් ඔහු ස්වයං විවේචනාත්මකව තම වරද විග‍්‍රහකොට පිළිගැනීමට නිහතමානී නැත. පක්‍ෂය ආයුබෝවන් කීමට දන්නේ නැතැයි ඔහු දාර්ශනිකව පැහැදිළි කිරීමට උත්සාහ කරන්නේ විජේවීරයන් පක්‍ෂය තුළ ගොඩනැගූ ජාතිකවාදී දේශපේ‍්‍රමී සංස්කෘතියෙන් බැහැරවීම බව පිළිගත හැක. ඔහු සෘජුව නොකියන්නේ ඒ සංස්කෘතික බැහැරවීම පක්‍ෂය තුළට රිංගූ ඔත්තුකරුවන් විසින් අති දක්‍ෂ ලෙස භාවිතා කොට පක්‍ෂය උපාය මාර්ගිකව පීලි පැන්නවූ බවය. පක්‍ෂය තුළ යම් පිරිස් මුදල්වලට වැඩ කළ බවටද ඔහු චෝදනා කරයි. එහෙත් සත්‍යය අමුවට පිලිගැනීමට ඔහුට ආත්ම ශක්තියක් නැත. එය ඔහුගේ දුර්වලකමට වඩා ඔහු පක්‍ෂය තුළ පවත්වාගෙන ගිය සදාචාරාත්මක දිවිපැවැත්ම තුළින් පැන නගින තත්වයක් ලෙස නිර්වචනය කිරීම වඩා සාධාරණ වේ.

එදා 2006 දී රෝහණ විජේවීරයන්ගේ උපාය මාර්ගික තේරීම සහ පොදු මහජන මතයට පිටුපාමින් බෙදුම්වාදී විරෝධී යුද මෙහෙයුමට ජ.වි.පෙ විසින් තම පස්ස හරවන විට සෝමවංශයන් ඊනියා බහුතර මතයට යට විය. නමුත් ඊට එරෙහිව අරගලකොට පක්‍ෂයෙන් එළියට බැසීමට විමල් වීරවංශ වැන්නවුන් කටයුතු කළේය. ඇත්ත වශයෙන්ම සිදු වූයේ එදා පක්‍ෂය බරපතල උපාය මාර්ගික වරදක් සිදු කරන තත්වයට තල්ලූ කළ පිරිස් විසින්ම ඒ මත පැන නැගුණු අභ්‍යන්තර ගැටුම් යොදා ගනිමින් තෝරාගත් පුද්ගලයන් පිරිසක් පක්‍ෂයෙන් නෙරපා හැරීමය. එසේ කළේ පක්‍ෂය තුළ ජාතිකවාදී බලවේග ශක්තිමත් වී නැවත පක්‍ෂය පීල්ල මතට ගනු ඇතැයි යන ඔවුන් දකින ‘අනතුර’ අවම කරගැනීම සදහායි. එම වැරදි නිවැරැදි කරනවා වෙනුවට සෝමවංශයන් ඒ කුමන්ත‍්‍රණවලටම ගොදුරුවීම බරපතලම ඛේදවාචකයක් ලෙස හදුනාගත හැක.

එදා අනුර දිසානායක විසින් මුවහත් තබා අතට දෙන කඩුවෙන් විමල් වීරවංශයන්ගේ බෙල්ල කපන්නේ සෝමවංශයන් විසින්මය. ඒ සැලසුමේ කූඨප‍්‍රාප්තිය අනුර දිසානායක පක්‍ෂයේ නායකයා බවට පත්වීමය. එතැන් පටන්  නව නායකයා විසින් ජ.වි.පෙ එක්සත් ජාතික පක්‍ෂයේ වලිගයක් හෙවත් උපාංගයක් බවට පත්කොට රනිල් වික‍්‍රමසිංහ මහතා බලයට ගෙන ඒමේ න්‍යාය පත‍්‍රයක් ක‍්‍රියාත්මක කළ බව සෝමවංශ අමරසිංහයන්ට රහසක් විය නොහැක. කෙසේ නමුත් ඔහු දැන් ප‍්‍රායෝගිකව ක‍්‍රියාවෙන් ඊට ප‍්‍රතිචාර දක්වා ඇත. ඔහු එම ප‍්‍රතිචාරය ඒ ආකාරයෙන් නොදක්වා වසර 9ක් තිස්සේ අභ්‍යන්තරිකව ප‍්‍රතිචාර දැක්වූ ආකාරයට අසරණව සිටියා නම් අනුර දිසානායකගේ ගමන කෙළවර වන්නේ ඉල්මහ සමරුවට ප‍්‍රධාන අමුත්තා ලෙස රනිල් වික‍්‍රමසිංහට ආරාධනා කිරීමෙන් විය හැක. ඊට පෙර සමහරවිට හසලක විරුවාගේ පමණක් නොව කොබ්බෑකඩුව සෙනවියාගේද ස්මාරක ඉවත් කිරීමේ උත්සවවලට ද ඔවුන් සහභාගීවනු ඇත.

දැන් අනුර දිසානායක විසින් පක්‍ෂය රැගෙන යන ‘අධිරාජ්‍ය ගැති’ ගමනට අභියෝග කරමින් සෝමවංශ අමරසිංහයන් ස්වේච්ඡවෙන් එළියට බැස ඇත. එසේම සෝමවංශ අමරසිංහයන්ගේ අපේක්‍ෂාවන් වලින් භාගයක් පමණක් ඉටු කළ මහින්ද රාජපක්‍ෂයන්ද අධිරාජ්‍යවාදී බලවේගවල මෙහෙයුමක් තුළ මහජනයා විසින් සිහසුනෙන් බස්සවා ඇත. දෙදෙනාම දැන් තම අතීත වගකීම් ඉටු කළ ප‍්‍රමාණය සහ ගුණය මත ඉතිහාසයේ විනිශ්චය අභිමුවට පැමිණ ඇත. ඊට සාපේක්‍ෂව රට ඉදිරියේ පවතින අභියෝගද පශ්චාත් 2002 අවධියට සමාන ආකාරයට පෙළ ගැසී ඇත. ඒ අනුව ඒ දෙපළම අද ඉතිහාසයේ පරීක්‍ෂාවට මුහුණ දෙන්නේ පූර්ව 2005 අවධියේ පය තබාගෙන බව පැහැදිලිව තේරුම් ගත හැක. අනාගත අභියෝග ඉදිරියේ මහින්ද රාජපක්‍ෂයන් තම අතීතය දෙස ස්වයං විවේචනාත්මකව බැලීමට තරම් නිහතමානී වී ඇතත් සෝමවංශ අමරසිංහයන් තවමත් ඒ ගුණය වර්ධනය කර ගැනීමට සමත් වී නැත. වැරදි නිවරැුදි කර ගනිමින් තමාටත් රටටත් සාධාරණය ඉටුකිරීමට ඔවුන් දෙපළට ඉතිහාසය නැවත අවස්ථාවක් ලබා දෙන්නේ ඒ ගූණය දිනෙන් දින වර්ධනය කරගතහොත් පමණි.

ඔවුන් දෙපළ වෙත ඉතිහාසය විසින් ඉදිරිපත් කරන ඇගයීම් සහ චෝදනාවල සමානකම් මෙන්ම වෙනස්කම්ද ඇත. නමුත් වසර 30ක යුද්ධය අවසන් කිරීමේ සේනාධිනායකයා වීමේ ගෞරවය නිසා මහින්ද රාජපක්‍ෂයන් ඇගයීම් ලයිස්තුවේ ඉහළින්ම සිටී. සෝමවංශ අමරසිංහයන් රෝහණ විජේවීර සමයේදී 1988 සිටම නිශ්චිත තීන්දු ගත යුතු තීරණාත්මක අවස්ථාවල නිහඬව සිටීම හෝ තීන්දු නොගෙන සිටීම හෝ උපාය මාර්ගයට පිටුපා ඊනියා බහුතරයේ පැත්ත ගැනීම නිසා ඉතිහාසයේ සාක්‍ෂිකාරයකු මෙන්ම වැරදිකාරයෙකු බවටද පත් වී සිටියි. සමාව ඉල්ලා සිටීම සදහා ඔහු සතුව නිදහසට කාරණා දෙකක් ඇත. පළමුවැන්න එදා 2005 ෙඓතිහාසික ජනවරම නිර්මාණය කිරීම සදහා ඔහු ඉටු කළ තීරණාත්මක භූමිකාවයි. දෙවැන්න අනුර දිසානායක විසින් පක්‍ෂය තීරණාත්මකව අවසන් කරීම සදහා එය රැගෙන යන ගමනට අභියෝගකොට එළියට බැසීමය. පහළ මට්ටමේ සාමාජිකයන් අතර තම සදාචාර බලය රැකගැනීම සදහා ඉතා අසරණ ලෙස සහ පැටළිලි සහගත ලෙස විවිධ විග‍්‍රහ ඉදිරිපත් කළ ඔහු අනුර දිසානායක පක්‍ෂය රැගෙන යන ගමනට අභියෝග කරන බව පැහැදිලි සත්‍යයකි. සෝමවංශයන්ට අවලාද නැගීමෙන් ඒ න්‍යාය යටපත් කළ නොහැක.

මහින්ද රාජපක්‍ෂයන් ලෝකයේ බලවත්ම කුලී හමුදාවක් පරාජය කිරීම පිළිබදව ඉතිහාසයේ අධිකරණය අභිමුව බලවත් ගෞරවය ලක් වූවත් ඉන් පසුව එම ජයග‍්‍රහණවලට පයින් ගැසීම පිළිබදව උදහසට ලක්වී ඇත. ප‍්‍රබල සටන් බිමක් අධිරාජ්‍යවාදීන්ට අහිමි කිරීමෙන් පසුව අධිරාජ්‍යවිරෝධී අරගලයේ ඉතිරි කොටස වන බෙදුම්වාදය දේශපාලන වශයෙන් පරාජය කිරීම සහ ආර්ථික සහ සංස්කෘතික තලයේ අධිරාජ්‍යවාදී න්‍යායපත‍්‍ර වලට එරෙහිව  යුද්ධ ප‍්‍රකාශ කිරීමට ක‍්‍රියා නොකිරීමේ වරදට මහින්ද රාජපක්‍ෂයන් වරදකරු වී ඇත. එහෙත් මහින්ද රාජපක්‍ෂයන් අතින් එම වරද සිදු වීමට ප‍්‍රධාන වශයෙන් බලපෑවේ සෝමවංශයන් විසින් භාග තීරණයක් ගැනීම හෙවත් සටන අතරමැද නවතා පැනයාම නිසා බවටද ඉතිහාසයේ අධිකරණය ඉදිරියේ සාක්‍ෂි  ඕනෑ තරම් ඉදිරිපත් වී ඇත. කෙසේ වෙතත් ඉතිහාසයේ අධිකරණය මේ දෙපළ පිළිබදව අවසන් තීන්දුව දීම සදහා මහජන ජූරිය කැදවන බවට කිසිදු සැකයක් නැත. එම දිනය වැඩි ඈතක නොවේ. බෙහෝවිට එය අගෝස්තු – සැප්තැම්බර් කාලයේදී උදාවිය හැක.

මහජන ජූරිය පැත්තෙන් ගත් විට ඔවුන් අද මුහුණ දෙමින් සිටින්නේ ඉහත සදහන් කළ ආකාරයට එම දෙපළ එක්ව රට වෙනුවෙන් තීරණාත්මක තීන්දු ගන්නා ලද යුගයේ පැවති තත්වයන්ටමය. එනම් 2002 දී රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් පාවා දීමේ සටන් විරාම ගිවිසුම අත්සන් කළ යුගයේදී පැවති තත්වයන්ටය.

එම නිසා එම දෙපළටම මහජන ජූරියේ අනුකම්පාව ලබාගත හැක්කේ 2005 සිට නැවත පටන් ගන්නා බවට ස්ථීරසාර ප‍්‍රතිඥාවක් ලබාදීම තුළින් පමණි. දැන් ඉතිහාසය මුහුණ දී තිබෙන්නේ තම ගමන අවසන්වීමේ අභියෝගයටය. රනිල් වික‍්‍රමසිංහ මහතාට 2002 සිට නැවත පටන් ගැනීමට අවස්ථාව ලැබුණහොත් ඒ ඉතිහාසයේ අවසානය බවට සැකයක් නැත. එයට හේතුව ඔහු මෙවර 2002 ගමන නැවත ආරම්භ කළ පසුව ඔහු කැමති වූවත් අකමැති වූවත් ඒ ගමන ආපසු හැරවීමට අධිරාජ්‍යවාදීන් ඉඩ නොදීමයි. දැන් අප දකින්නේ ඉතිහාසයේ අධිකරණය එක් ඇසකින් මහජන ජූරිය දෙසත් අනෙක් ඇසින් මහින්ද රාජපක්‍ෂ සහ සෝමවංශ අමරසිංහ දෙපළ දෙස බලා සිටින තත්වයකි. කවුරු කාට සාධාරණය ඉටුකරනු ඇත්ද?

වෛද්‍ය කේ. එම්. වසන්ත බණ්ඩාර
මහ ලේකම්,
දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය

--------------------------------------------------------------------------------------------------------------------------

* ඔබගේ ප්‍රතිචාරය අද ලක්දෙරණ වෙබ් අඩවියේ පළ කරනුයේ පහත සඳහන් කොන්දේසි මතය.
පුද්ගලයෙකු හෝ පුද්ගලයින්ට නිග්‍රහ නොකිරීම, අපහස නොකිරීම, අසභ්‍ය සහ පරුස වචන භාවිතා නොකිරීම, ප්‍රතිචාර සඳහා ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ නම් නිර්නාමික ලෙස භාවිතා නොකිරීම, ඉතා දීර්ඝ ප්‍රතිචාර නොදැක්වීම, අදාල පුවතට සම්බන්ධතාවයක් නැති ප්‍රතිචාර දැක්වීම, වෙනත් වෙබ් අඩවි වල පලවූ ප්‍රතිචාර සහ වෙනත් වෙබ් අඩවි ප්‍රචලිත කිරීමේ අරමුණින් කරන්නා වූ ප්‍රතිචාර යන ආදී කරුනු ඇතුලත් ප්‍රතිචාර අද ලක්දෙරණ වෙබ් අඩවියේ පළ නොකරන බව කරුණාවෙන් සැලකිල්ලට ගනු මැනවි.
සියලු පුවත් සඳාහා දක්වා ඇති පාඨක ප්‍රතිචාර "අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස" යටතේ ඔවුන්ගේම අදහස් විය යුතු අතර අද ලක්දෙරණ වෙබ් අඩවිය එම ප්‍රතිචාර සඳහා වග නොකියන බව මෙලෙස ඔබ සැමට අවධාරණය කරමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top