ලසන්ත ඝාතන පරීක්‍ෂණ මතින් සිදුවන ගෝඨාභය ප්‍රමුඛ බුද්ධි අංශ දඩයම

ලසන්ත වික්‍රමතුංග පෑන මෙහෙය වූයේ කා සඳහා දැයි මෙරට පක්‍ෂ විපක්‍ෂ සැමට අමුතුවෙන් කිවයුතු නොවේ. එල්ටිටිය යුද්ධ කළේ ටි-56න් පමණක් බව සිතන්නේ දේවල් පිළිබඳ ළදරුවන් පමණකි. ඔවුන්ගේ වෙනත් සියුම් මෙහෙයුම් අතර දකුණේ පත්තර කතුවරුන්, භික්‍ෂූන්, ජනමාධ්‍යවේදීන්, විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන් හා සෙසු වෘත්තිකයින් සිය අරමුණ වෙනුවෙන් පාවිච්චි කිරීමට තරම් එල්ටිටිය සූක්‍ෂම විය. යුද්ධය උපරිමයෙන් යන අවස්ථාවේ දී ඊට දේශපාලන නායකත්වය සැපයූ රාජපක්‍ෂවරුන්, ආරක්‍ෂක හමුදා හා සිදුවූ මෙහෙයුම් පිළිබඳ ඍණාත්මක මතවාදයක් රටතුළ සමාජගත කොට මෙහෙයුමේ වලංගුබව හා සුජාතබව කඩා බිඳ දැමීම ලසන්තගේ පුවත්පත් කලාව තුළින් සිදූ බව නොරහසකි.

ලසන්ත ඝාතනය බලා සිටිය කෙනෙකුගේ ශෛලියෙන් අද දින ඉරිදා දිවයිනට කිසිවෙකු විසින් ලියා තිබූ ලිපිය පිළිබඳ පුදුමයට පත්වීමි. මේ පිළිබඳ පරීක්‍ෂණ අවසන් ව නොතිබිය දී ඒවා අවසන් ව ඇති බවට වන අදහසක් එම ලිපිය පුරා ම තිබුණි. කාටත් මෙම ලිපියේ අරමුණ අපහැදිළි නැතැයි සිතමි. ගෝඨාභය රාජපක්‍ෂ අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය පසුබිම සැකසීම එහි එක ම අරමුණ වේ. බුද්ධි නිලධාරියා අත්අඩංගුව ගත්තේ ඒ වෙනුවෙන් ය.

අත්අඩංගුවට පත් බුද්ධි නිලධාරියා ඉතා සුවිශේෂී ය. දිගුදුර විහිදුම් බලකායේ සිටිමින් යුද්ධය අතරතුර කළ සේවයට අමතර ව යුද්ධයෙන් පසු විදෙස් රටවල සිටිමින් එල්ටිටි ජාලය යුරෝපය තුළ දැඩි ලෙස අකර්ම්‍ය කිරීමේ කටයුතු සිදු වූයේ මෙම නිලධාරියා අතින් ය. යුරෝපයේ ප්‍රබල රටක ඉහළ ම බුද්ධි බලකාය සමග සමීප ව කටයුතු කිරීම මතු නොව ආදළ රටෙහි ප්‍රධානතම බුද්ධි නිලධාරීන් තිදෙනා ලංකාවට ගෙන්වා මෙහි ඇත්ත තත්වය ඔවුන්ගේ ඇසින් ම දැක බලා ගැනීමට අවශ්‍ය සැලසුම ක්‍රියාත්මක කළේ ද මෙම නිලධාරියා ය. දැඩි සේ ලංකාවට හතුරු ආකල්පයක සිටි මේ රට එක්වරම වෙනස් කරගත හැකි වූයේ මෙම මෙහයෙුම නිසා බව අපට දැනගන්නට ලැබුණි. මෙම නිලධාරියා විසින් කළ මෙහෙයුම් අපට මෙහි ප්‍රසිද්ධියේ හෙළි කළ නොහැකි ය. කෙසේ වෙතත්, නිලධාරියා අත්අඩංගුවට පත්වීම එල්ටිටි ඩයස්පෝරාව ලැබූ විශාල ජයග්‍රහණයකි.

කෙනෙකු කියනු ඇත්තේ රටට කුමන සේවය කළ ද ඔහු වරදක් කොට තිබේ නම් නිසි දඬුවම් ලැබිය යුතු බව ය. එහෙත් පුද්ගලයින් වරදවලවලට පටලවන්නේ වරදවල් කොට ඇති නිසා ම නොව බව දන්නේ කීයෙන් කී දෙනා ද?

ලසන්ත ඝාතනයට මුවා වී දැන් සිදුවන්නේ ලසන්තගේ ඝාතකයින් සෙවීම පමණක් නොවන බව නම් අවධාරණය කළ යුතු ය. ඒ පිටුපස රටට එරෙහි ඉතා දැවැන්ත බුද්ධි මෙහෙයුමක් සක්‍රිය ව ඇති බව පෙනීයයි. රටේ ජනාධිපතිවරයා මෙන්ම අගමැතිවරයා ද මේ පිළිබඳ නිසි සේ දැනුවත්දැයි අපි නොදනිමු. දැනුවත් නම් ඔවුන් නොමග ගොස් ද? අප එසේ අසන්නේ රටක නායකයෙකුට එවැනි දෙය තම රට තුළ සිදුවීමට ඉඩ ලබාදීම තරම් නොවන නිසා ය. පසුගියා දා බ්‍රිතාන්‍ය ඉරාකයට මැදිහත් වූ ආකාරය පිළිබඳ සොයා බැලූ චිල්කොට් කොමිසම් වාර්තාව තුළ එකදු බුද්ධි නිලධාරියෙකුගේ හෝ නමක් තිබේදැයි පරීක්‍ෂා කරන්න. කිසිවෙකුත් ගැන සඳහන් නැත. එහෙත් පසුගිය දා අත්අඩංගුවට පත් සියළු ශ්‍රී ලංකා හමුදා බුද්ධි නිලධාරීන්ගේ නම් ගම් හා පවුලේ විස්තර පවා මෙරට ජනමාධ්‍යන් වෙත හෙළි කොට අවසන් ය. පොලිස් අපරාධ පරික්‍ෂණ දෙපාර්තමෙන්තුව කුමන අරමුණකින් මෙසේ කරන්නේ ද? නැවතත් හමුදා-පොලිස් බුද්ධි අංශ කා කොටා ගැනීම් කරලියට විත් ද? පරීක්‍ෂණ පිටුපස වෙනත් බලවේගයක් ක්‍රියාත්මක වේ ද? මේ සියල්ල අප සැමගේ විනාශයේ මාර්ගයයි.

මහින්ද පතිරණ

--------------------------------------------------------------------------------------------------------------------------

* ඔබගේ ප්‍රතිචාරය අද ලක්දෙරණ වෙබ් අඩවියේ පළ කරනුයේ පහත සඳහන් කොන්දේසි මතය.
පුද්ගලයෙකු හෝ පුද්ගලයින්ට නිග්‍රහ නොකිරීම, අපහස නොකිරීම, අසභ්‍ය සහ පරුස වචන භාවිතා නොකිරීම, ප්‍රතිචාර සඳහා ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ නම් නිර්නාමික ලෙස භාවිතා නොකිරීම, ඉතා දීර්ඝ ප්‍රතිචාර නොදැක්වීම, අදාල පුවතට සම්බන්ධතාවයක් නැති ප්‍රතිචාර දැක්වීම, වෙනත් වෙබ් අඩවි වල පලවූ ප්‍රතිචාර සහ වෙනත් වෙබ් අඩවි ප්‍රචලිත කිරීමේ අරමුණින් කරන්නා වූ ප්‍රතිචාර යන ආදී කරුනු ඇතුලත් ප්‍රතිචාර අද ලක්දෙරණ වෙබ් අඩවියේ පළ නොකරන බව කරුණාවෙන් සැලකිල්ලට ගනු මැනවි.
සියලු පුවත් සඳාහා දක්වා ඇති පාඨක ප්‍රතිචාර "අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස" යටතේ ඔවුන්ගේම අදහස් විය යුතු අතර අද ලක්දෙරණ වෙබ් අඩවිය එම ප්‍රතිචාර සඳහා වග නොකියන බව මෙලෙස ඔබ සැමට අවධාරණය කරමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top