රාජ්‍ය බලය සතු විය යුත්තේ සිංහලයන්ට නොවේද?

රටේ ඉතිහාසයත් ජන සංයුතියත් සලකන විට මෙරට රාජ්‍ය බලය තිබිය යුත්තේ සිංහලයන් අතේය. රාජ්‍ය බලය සිංහලයන් අත නොවේ නම් එය තිබිය යුත්තේ කා අතදැයි අපට තවත් ඇසිය හැකිය. එය එසේ නොවීම ප්‍රජාතන්ත්‍ර විරෝධී විය යුතුය. මෙරට ඉතිහාසයටත් සංස්කෘතියටත් අනුගතව රට ඉදිරියට ගෙන යා යුතුය. රටේ අනාගතය හැසිරවීමට සිංහලුන්ට ඇති බලය හා සමාන බලයක් හෝ ඊට වැඩි බලයක් වෙන සංස්කෘතියක් නියෝජනය කරන ජන වර්ගයකට නොතිබිය යුතුය. තමන්ට රිසි පරිදි රට කෙරෙන බවට පොදුවේ සිංහලුන්ට හැඟී යා යුතුය. එසේ නොවිය යුතු යැයි කීමට මතවාදී පදනමක් තිබිය හැකිද?

ඉතිහාසයේ සතුරු ආක්‍රමණ මඟින් රාජ්‍ය බලය පැහැරගත් අවස්ථාවල රාජ්‍ය බලය තමන් අතින් ගිලිහුණ බව සිංහලුන්ට ඇඟට දැනෙන්නට ඇති. සිංහලුන් නිදහස් සටන් කෙරුවේ ඒ නිසාවිනි. නමුත් අද සිංහලයින්ගේ බලය පැහැර ගැනෙන්නේ ඊට වඩා සූක්‍ෂම ආකාරයටය. අවාසනාවකට එය සිංහලයින්ගේ ඇඟට දැනෙන විට ප්‍රමාදවී වැඩිය.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති කරවීම, විධායක බලය යොදවා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය මැරීම, විධායක බලය යොදවා ජනතාව ප්‍රතික්‍ෂේප කල අපේක්‍ෂකයින් පාර්ලිමේන්තුවට ගැනීම, විධායක බලය යොදවා සිංහලයින්ගේ ප්‍රධාන දේශපාලන පක්‍ෂ දෙකේ මන්ත්‍රීවරුන් එකතු කර ආණ්ඩුවක් පිහිටුවීම, එමඟින් සැබෑ විපක්‍ෂයට පාර්ලිමේන්තුවේ හිමිවිය යුතු වරප්‍රසාද අහිමි කිරීම සහ ඉදිරියේදී යෝජනා කර ඇති පරිදි නීති විරෝධී ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීම. මේ සියලු ක්‍රියාකාරකම් පෙල ගසා ඇත්තේ සිංහලයින්ට රාජ්‍ය බලය අහිමි කිරීමටය. පැහැදිලිවම රෙජිමය විසින් ඉතාම කෙටි කාලයක් තුල යහපාලන ව්‍යාපෘතියේ මූලික අරමුණ කරා මෙරට රැගෙන ගොස් ඇත. මොවුන් නිර්මාණය කරන්නට යෙදෙන ව්‍යවස්ථාව ක්‍රියාත්මක වුවහොත් මෙරට රාජ්‍ය කරවනු ඇත්තේ මෙරට බහුතරයක්වූ සිංහලයින්ගේ සිතැඟි අනුව නොව දෙමළ ජාතිවාදීන්ටත්, ඉන්දියාවටත්, එංගලන්තයටත් ඇමෙරිකාවටත් අවශ්‍ය පරිදිය.

ව්‍යවස්ථා සංශෝධන ගැන බිය විය යුතු නැතැයි ජනාධිපතිවරයා පවසයි. ඒ අතරම ව්‍යවස්ථාව වෙනස් කිරීමෙන් තමන් බලාපොරොත්තු වන්නේ සිංහලයින් තේරුම් නොගන්නා යම් වෙනසක් කිරීමට යැයි ජනාධිපතිවරයා පවසයි. සිංහලයින් ට නොතේරෙන දේවල් කිරීමට රෙජිමයට බලයක් ලබා දුන්නේ කව්රුන් විසින්ද? ජනාධිපතිවරයාගේ බලයෙන් ඇමතිකම් ලබා ගත් ජනතාව අතර බලයක් නැති ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් ව්‍යවස්ථා සංශෝධන ගැන දෙන පොරොන්දු විශ්වාස කල හැකිද?

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති බවට පත්වීමේ සිට ව්‍යවස්ථාව වෙනස් කරලීම දක්වා රෙජිමය විසින් අධිපති බලය යොදවා පාර්ලිමේන්තුව තුල කෙරුනු වෙනස්කම් එලෙස සිදු කිරීමට තුඩු දුන් හේතුවක් මෙරට දේශපාලනයේ 2015 ජනවාරි 8 දාට ඉහත පැවැතිනිද? අඩු තරමින් මේ වෙනස් කම් කරන්නේ සිංහලයින්ගේ කුමන ප්‍රශ්ණයක් විසඳීමටදැයි මේ රෙජිමය විසින් පෙන්වා දී තිබේද? මීට වසරකට ඉහතදී සිංහලයින් සුළුතරයකට හෝ ප්‍රශ්ණයක් විනි නම් ඒ මහින්ද රාජපක්‍ෂ රජයේ ඊනියා දුෂණයයි. නමුත් ජනවාරි 8දා සිට මේ දක්වා පාර්ලිමේන්තුව තුල සිදුකර ඇති විපර්යාසයන් දූශණ මර්ධනය කිරීම සඳහා අවශ්‍යදෑ යැයි කිව හැකිද? පැහැදිලිවම මුල සිටම මේ වෙනස් කම් සිදුකර ඇත්තේ අවසානයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීමේ අරමුණ ඇතිවය.

ඉන්දියාවේ රාජ්‍ය බලය ඇත්තේ හිංදුන් අතය. එය එසේ නොවීමට හේතුවක් නැත. ඇමෙරිකාවේ රාජ්‍ය බලය ඇංග්ලෝ සැක්සන් සංස්කෘතියේ සුදු ක්‍රිස්තියානින් අතය. ඔවුන්ගේ අතින් එය ගිලිහෙන්නේ නැත. රුසියාවේ, ප්‍රංශයේ සහ ජර්මනියේ ද එසේමය. මේ කිසි රටක රාජ්‍ය බලය වෙන සංස්කෘතියක් නියෝජනය කරන ජන වර්ගයක් හා සමව බෙදා ගෙන නැත. සිංහලුන්ට මේ රටේ රාජ්‍ය බලය හිමි විය යුතු යැයි අප කියන්නේ ඒ අර්ථයෙන්මය. දෙමළ ජනයාට දෙමළ වීම නිසා යම් ප්‍රශ්ණයක් ඇත්නම් එයට විසඳුම සිංහලයින්ට රාජ්‍ය බලය අහිමි කිරීමවත් සිංහලයින්ට හා සමාන රාජ්‍ය බලයක් ජනවාර්ගික පදනම මත දෙමළ ජනයාට දීමවත් නොවේ. මෙරට ප්‍රශ්ණ විසඳිය යුත්තේ ඒකිය රාජ්‍යයක් තුල සිංහලයින් අත රාජ්‍ය බලය රඳවමිනි.

මෙරට ප්‍රධාන දේශපාලන පක්‍ෂ දෙකෙන් එකක් ආණ්ඩු පක්‍ෂයේද අනික විපක්‍ෂයේද සිටින තාක් කල් සිංහලයින්ට තමන්ට රාජ්‍ය බලය ඇත යන හැඟීම තිබිනි. අද විපක්‍ෂ බලය ඇත්තේ ද්‍රවිඩ ජාතික ආර්. සම්බන්ධන් නියෝජනය කරන දෙමළ ජාතිවාදීන් අතය. මීට පෙර මෙවැනි අවස්ථාවක් උද්ගත වූයේ 77-83 කාලයේ අමිර්තලිංගම්ගේ නායකත්වයෙන් යුත් දෙමළ එක්සත් විමක්ති පෙරමුණ විපක්‍ෂයේ සිටි අවධියේය. දෙමළ ජාතිවාදී දේශපාලනය සන්නද්ධ අරගලයක් දක්වා ගෙනයාමට ජවයක් ලැබුනේද මේ අවධියේදීය. ඊනියා නිදහසින් පසු සිංහලයන් ට රාජ්‍ය බලය පිළිබඳව සැකැයක් ඇතිවූනේද ඒ සමයේමය. අද නැවතත් මේ රට 77-83ට සමාන දේශපාලන වාතාවරණයකට ඇද දමා ඇත. ප්‍රශ්ණය සුළු ජනවර්ගයක් නියෝජනය කරන පක්‍ෂයකට පාර්ලිමේන්තුවේ විපක්‍ෂ බලය හිමිවීම නොව විපක්‍ෂයත් ආණ්ඩු පක්‍ෂයත් දෙකම සිංහල විරෝධී වීමය. ආණ්ඩුව සිංහල විරෝධීව කටයුතු කරනවිට ඊට එරෙහිවීමට සිංහලයන්ට ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් නැතිවීමය. පසුගිය ජනවාරි 8දා සිට අද දක්වා යහපාලනවාදීන් විසින් ක්‍රියාත්මක වූයේ මේ වතාවරණය රට තුල ඇති කරලීමටය. ඉතිරිව ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දෙමළ ජාතිවාදයට සරිලන පරිදි සකස් කිරීමය.

වංශපුර දේවගේ ජානක

--------------------------------------------------------------------------------------------------------------------------

* ඔබගේ ප්‍රතිචාරය අද ලක්දෙරණ වෙබ් අඩවියේ පළ කරනුයේ පහත සඳහන් කොන්දේසි මතය.
පුද්ගලයෙකු හෝ පුද්ගලයින්ට නිග්‍රහ නොකිරීම, අපහස නොකිරීම, අසභ්‍ය සහ පරුස වචන භාවිතා නොකිරීම, ප්‍රතිචාර සඳහා ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ නම් නිර්නාමික ලෙස භාවිතා නොකිරීම, ඉතා දීර්ඝ ප්‍රතිචාර නොදැක්වීම, අදාල පුවතට සම්බන්ධතාවයක් නැති ප්‍රතිචාර දැක්වීම, වෙනත් වෙබ් අඩවි වල පලවූ ප්‍රතිචාර සහ වෙනත් වෙබ් අඩවි ප්‍රචලිත කිරීමේ අරමුණින් කරන්නා වූ ප්‍රතිචාර යන ආදී කරුනු ඇතුලත් ප්‍රතිචාර අද ලක්දෙරණ වෙබ් අඩවියේ පළ නොකරන බව කරුණාවෙන් සැලකිල්ලට ගනු මැනවි.
සියලු පුවත් සඳාහා දක්වා ඇති පාඨක ප්‍රතිචාර "අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස" යටතේ ඔවුන්ගේම අදහස් විය යුතු අතර අද ලක්දෙරණ වෙබ් අඩවිය එම ප්‍රතිචාර සඳහා වග නොකියන බව මෙලෙස ඔබ සැමට අවධාරණය කරමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top