යහපාලන නංගී පෙන්නලා බෙදුම්වාදී අක්‌කට රට දෙන්නයි මේ සුදානම

– පිවිතුරු හෙළ උරුමයේ නායක බස්‌නාහිර පළාත් මන්ත්‍රී උදය ගම්මන්පිල

එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය නියෝජනය කරන දිනේaෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්‌කාර, විමල් වීරවංශ යන පක්‍ෂ නායකයන් සමග එක්‌වී ගොඩනැගීමට යන නව සන්ධානය පිළිබඳව උදය ගම්මන්පිල මහතා දැක්‌වූ අදහස්‌ පහත පරිදි වේ.

ප්‍රශ්නය – මේ මොහොත වන විටත් එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය තුළ ගොනුවී සිටින ඔබත්, දිනේෂ් ගුණවර්ධන මහතාත්, වාසුදේව නානායක්‌කාර මහතාත්, විමල් වීරවංශ මහතාත් වෙනම දේශපාලන පෙරමුණක්‌ ගොඩනැගීමට සූදානම් බව වාර්තා වනවා. ඇයි එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයට අමතරව, දේශපාලන සංවිධානයක්‌ ගොඩනැඟීමට සූදානම් වන්නේ.

පිළිතුර – ඇත්තෙන්ම අපි උත්සාහ කරන්නේ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයෙන් බිඳිල යන්න නොවෙයි. අපි කටයුතු කරමින් සිටින්නේ යළිත් එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය බලයට ගෙන ඒම සඳහා සපුරාලිය යුතු අත්‍යවශ්‍ය කොන්දේසියක්‌ සපුරාලීම සඳහා එම සන්ධානයට බලකිරීම සඳහායි.
අපි දකින විදියට පසුගිය ජනාධිපතිවරණය, ජනාධිපතිවරණයක්‌ නොවී මහ මැතිවරණයක්‌ වූවා නම් ජයග්‍රහණය හිමිවන්නේ හංසයාට නොවෙයි. බුලත් කොළයට. කොහොමද ඒක වෙන්නේ. අද බුලත් කොළය වටා ගොනු වී සිටින සියලු බලවේග මහ මැතිවරණයකදී වුවත් ඒ ආකාරයටම ගොනු වනවා. නමුත් ජනාධිපතිවරණයේදී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ වේදිකාවට ගොඩ නොවී වෙනම ඉඳන් සහයෝගය දුන් දේශපාලන පක්‍ෂ ඒ අයත් සමග මහ මැතිවරණයකදී ආණ්‌ඩුවක්‌ සෑදීම සඳහා සන්ධාන ගත වෙන්නේ නෑ. ජනතා විමුක්‌ති පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය බොහෝ විට මුස්‌ලිම් කොංග්‍රසය ඡන්දය ඉල්ලන්නේ වෙනමයි.
ජනතා විමුක්‌ති පෙරමුණ වෙනම ඡන්දය ඉල්ලූ විට පසුගිය ජනාධිපතිවරණයේදී 4700 කින් පරාජයට පත් වූ ගම්පහ, 4300 කින් පරාජයට පත් වූ පුත්තලම, 300 කින් පරාජයට පත්වූ බදුල්ල යන ආසන ජයග්‍රහණය කරනවා පමණක්‌ නොවෙයි, එම ජයග්‍රාහී පිලට හිමිවන ප්‍රසාද මන්ත්‍රී ධුරයන් සන්ධානය දිනා ගන්නවා. ඒ ආකාරයෙන් දිස්‌ත්‍රික්‌ මට්‌ටමින් ලංකාවටම ගණනය කරල බැලුවම පසුගිය ජනාධිපතිවරණය, මහ මැතිවරණයක්‌ වූවා නම් සන්ධානයට ආසන 111 ක්‌, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ආසන 89 ක්‌, දෙමළ ජාතික සංධානයට ආසන 15 ක්‌, මුස්‌ලිම් කොංග්‍රසයට ආසන 6 ක්‌ සහ ජනතා විමුක්‌ති පෙරමුණට ආසන 3 ක්‌ වශයෙන් මන්ත්‍රී ආසන බෙදී යන්න පුළුවන්. ජනතා විමුක්‌ති පෙරමුණට හිමිවන ආසන සංඛ්‍යාව වැඩි කරනවා නම් ඊට අනුපාතිකව අපිට හංසයාගේ ගොඩ අඩුකරන්න සිද්ධ වෙනවා. එතකොට ජ.වි. පෙරමුණත්, දෙමළ ජාතික සන්ධානයත් ආණ්‌ඩු හදන්න එකතු වන්නේ නෑ. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි වී තිබෙන ආසන 89 ට මුස්‌ලිම් කොංග්‍රසයට හිමි වී තිබෙන ආසන 6 එකතු කළ විට ලැබෙන්නේ ආසන 95 යි. ඒත් ආණ්‌ඩුවක්‌ පිහිටුවීමට අවශ්‍ය ආසන 113 ලැබෙන්නේ නෑ. නමුත් සන්ධානයේ ආසන 111 ට මුස්‌ලිම් කොංග්‍රසයේ ආසන 6 එකතු කළ විට ආසන 117 ක්‌ ලැබෙනවා. ආසන 117 ක්‌ ලැබෙන විට පාර්ලිමේන්තු බහුතරය හිමිවනවා. එම නිසා මුස්‌ලිම් කොංග්‍රසයට කේවල් කිරීමටවත් බෑ සන්ධානයට එකතු වනවා හැර.
එහෙම නම් ජනවාරි 08 පාර්ලිමේන්තු මැතිවරණයක්‌ පැවැත්වූවා නම් අපි දිනල ඉවරයි. එදායින් පසු අලුත් ආණ්‌ඩුවේ බෙදුම්වාදී වැඩපිළිවෙළ දැකල හංසයාට කතිරය ගහපු බොහෝ දෙනෙක්‌ අද කලකිරීමට පත් වී සිටිනවා. එම ඡන්ද අපට ලැබෙනවා. ඒ වගේම අනික්‌ අතට ප්‍රාදේශීය දේශපාලනඥයන්ට තිබෙන අකමැත්ත පෙන්වීමට සහ මහින්ද රාජපක්‍ෂ මහතාගේ වැඩි ඡන්ද ප්‍රමාණය අඩු කිරීමේ අදහසින් හංසයාට කතිරය ගහපු අය තමයි අද වැඩියෙන්ම හඬා වැටෙන්නේ. ඒ අයට යළිත් මහින්ද මහතා ජයග්‍රහණය කරවීමට අවස්‌ථාව ලැබෙනවා. එම නිසා මුස්‌ලිම් කොංග්‍රසය නැතත් සන්ධානයට ආසන 113 කට වඩා දිනා ගැනීමේ අවස්‌ථාව තිබෙනවා.
එහෙත් පසුගිය ජනාධිපතිවරණයේදී ලක්‍ෂ 58 ක්‌ ඡන්දය ලැබුණේ සන්ධානයටවත්, බුලත් කොළයටවත්, නිල් පාටටවත් නොවෙයි මහින්ද රාජපක්‍ෂ මහතාට. එම ඡන්ද ලක්‍ෂ 58 හෝ ඊට වඩා ගත්ත නම් සන්ධානයේ අගමැති අපේක්‍ෂකයා බවට මහින්ද රාජපක්‍ෂ මහතා පත්කර ගත යුතුයි.
එම නිසා අපේ නැවුම් සන්ධානයට අරමුණු දෙකක්‌ තිබෙනවා. එක්‌ අරමුණක්‌ තමයි සන්ධානයේ අගමැති අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් වන ලෙස මහින්ද රාජපක්‍ෂ මහතාට බලකිරීම. අනෙක්‌ අතට සන්ධානයේ අගමැති අපේක්‍ෂකයා බවට මහින්ද රාජපක්‍ෂ මහතා පත්කර ගන්න යෑයි ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මධ්‍යම කාරක සභාවට බලකරන එක. ඒ සඳහා අවශ්‍ය වන ජනතා රැල්ල ගොඩනගන එක තමයි අපේ අරමුණ.

ප්‍රශ්නය – ඔබලා ගොඩනගන සන්ධානය ඉදිරි මහ මැතිවරණයේදී වෙනම තරග කිරීමේ සූදානමක්‌ පවතින බවත් සඳහන් වනවා. ඒ පිළිබඳව ඔබට සඳහන් කිරීමට තිබෙන්නේ කුමක්‌ද?

පිළිතුර – අපගේ ඇත්ත උත්සාහය තමයි සන්ධානය ඒ සඳහා යොමු කර ගෙන සන්ධානයේ අපේක්‍ෂකයා ලෙස මහින්ද රාජපක්‍ෂ මහතා ගෙන ඒම. ඡන්ද තිබෙන්නේ මහින්ද රාජපක්‍ෂ මහතාට මිස වෙන කාටවත් නොවෙයි.

ප්‍රශ්නය – මේ මොහොත වන විට මෛත්‍රීපාල සිරිසේන මහතා ආණ්‌ඩුවක්‌ පිහිටුවා ගත වී තිබෙන්නේ ටික දිනක්‌ පමණයි. මෙතරම් කෙටි කාලයක්‌ තුළ යළිත් මහින්ද රාජපක්‍ෂ මහතා ඔබලාට අවශ්‍ය වීමට බලපෑ හේතුව කුමක්‌ද?

පිළිතුර – හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ කියල සිංහල කියමනක්‌ තියෙනවා. මේ ආණ්‌ඩුව හදන්න එකතු වෙලා සිටින සම්බන්ධන්, මනෝ ගනේෂන්, වික්‍රමබාහු වැනි බෙදුම්වාදී බලවේග ඒ වගේම අසාත් සාලි, රාවුµa හකීම් වැනි අන්තවාදී බලවේග, රනිල් – චන්ද්‍රිකා වැනි පෙඩරල්වාදී බලවේග දෙස බැලුවහම මේ අය ආණ්‌ඩුවක්‌ හැදුවේ මොකටද කියන එක ගැන අපට හොඳ අවබෝධයක්‌ තිබුණා. ඒ පිළිබඳව අපි මැතිවරණ වේදිකාවේදී කරුණු දැක්‌වූවා. අවාසනාවකට විපක්‍ෂයේ දූෂණ සටන් පාඨයෙන් කුල්මත් වී සිටි ජනතාව ඊට සවන් දුන්නේ නෑ. අපි කිව් අනාවැකි ජාතියේ අවාසනාවට අද සැබෑ වී තියෙනවා. අපි එදා කිව්වා, මේ සූදානම් වන්නේ මෛත්‍රී නංගි පෙන්නලා, රනිල් අක්‌කාට රට බාරදීමට සූදානම් වන බව. අපි කිව්වා යහපාලන නංගි පෙන්වා බෙදුම්වාදී අක්‌කාට රට බාරදීමටයි යන්නේ කියලා. අද ඒක වෙලා නැද්ද?
ජනවාරි 09 දා මෛත්‍රීපාල මහතා ජනාධිපති ධුරයේ දිවුරුම් දීලා විනාඩි 5 ක්‌ ඇතුළත 2001 අලි – කොටි ගිවිසුමේ නිර්මාතෘ රනිල් වික්‍රමසිංහ මහතා මේ රටේ අගමැති ධුරයට පත් වනවා.
ජනවාරි 11 වැනිදා මිලේනියම් සිටි සිද්ධියේදී මේ රටේ බුද්ධි අංශ පාවාදුන් ජෝන් අමරතුංග මහතා නැවත පොලිසිය භාර ඇමැතිවරයා ලෙස පත්වෙනවා.
කොටි සංවිධානයේ ප්‍රබලම මූල්‍ය ආධාරකරු වන රාඡ් රාජරත්නම්ගෙන් විදේශ විනිමය රෙගුලාසි උල්ලංඝනය කරමින් ඩොලර් මිලියන 3 ක්‌ නැත්නම් රුපියල් මිලියන 390 ක්‌ වංචනිකව ලබාගත් බවට චෝදනා ලබා මහාධිකරණය හමුවේ විත්තිකරුවකු වී සිටින රවී කරුණානායක මුදල් ඇමැති බවට පත්වෙනවා.
ජනවාරි 12 දා ලංකාව බිහිකළ කීර්තිමත්ම බුද්ධි අංශ නිලධාරියා වන මේජර් ජනරාල් කපිල හෙන්දාවිතාරණ මහතා ධුරයෙන් ඉවත් කරනවා. ජනවාරි 12 දා සටන් විරාම සමයේ ආන්දොaලනාත්මක පුවත් මැවූ හිටපු ආරක්‍ෂක ලේකම්වරයා වන ඔස්‌ටින් ප්‍රනාන්දු මහතා ජනාධිපති උපදේශකයකු ලෙස පත් කරනවා.
ඒ වගේම සුනාමි සහන මණ්‌ඩලයේ නිර්මාතෘ ආචාර්ය ජයන්ත ධනපාල ජනාධිපති උපදේශකයකු ලෙස පත් කරනවා.
ජනවාරි 13 වැනිදා දෙමළ බෙදුම්වාදය ලෝකය පුරා පතුරුවන නිසාම ශ්‍රී ලංකාවේ සිට සෘජුව ඇතුළුවීමට අක්‍රිය කර තිබූ “ටැමිල් නෙට්‌” වෙබ් අඩවියට සෘජුව ඇතුළුවීමේ අවකාශය සැලසෙනවා.
ජනවාරි 14 දා දෙමළ ජාතික සන්ධානයේ දිගුකාලීන ඉල්ලීමක්‌ ඉටුකරමින් උතුරු පළාතේ ආණ්‌ඩුකාර මේජර් ජනරාල් ජී. ඒ. චන්ද්‍රසිරි මහතා ධුරයෙන් ඉවත් කර ඒ වෙනුවට හමුදා නොවන සාමාන්‍ය පුද්ගලයකු ආණ්‌ඩුකාර ධුරය සඳහා පත්කරනවා.
ඇයි අපි උතුර හා නැගෙනහිර ආණ්‌ඩුකාර ධුර සඳහා හිටපු හමුදා නිලධාරීන් පත්කළේ. අපි දන්නා දෙමළ ජාතික සන්ධානය අදත් කොටි කොඩිය සෙවණේ යුරෝපීය රටවල පෙළපාලි යනවා. කොටින් සංවිධානය කරන සම්මන්ත්‍රණ අමතනවා. ඉතින් මේ අය කරන සියලු කටයුතු පිළිබඳව වාර්තා ආණ්‌ඩුකාරයා වෙත ලැබෙනවා. එම තොරතුරු සමග බුද්ධිමත්ව කටයුතු කිරීමේ හැකියාව තිබෙන්නේ හමුදා කටයුතු කර ඇති ආණ්‌ඩුකාරවරයකුට පමණයි. එම නිසා තමයි උතුරේ සහ නැගෙනහිර සිටි ආණ්‌ඩුකාරවරුන් ඉවත් කර ගැනීමට දෙමළ ජාතික සන්ධානයට අවශ්‍ය වූයේ. එම ඉල්ලීම ඉටුකර තිබෙනවා.
ජනවාරි 14 දාට කොටින්ගෙන් බිඳී ඇවිත් අපගේ රණවිරුවන් සමග සටන් කළ හිටපු මහ ඇමැති පිල්ලෙයාන්ට සපයා තිබූ ආරක්‍ෂාව ඉවත් කරනවා.
පිවිතුරු හෙළ උරුමයේ නායක බස්‌නාහිර පළාත් මන්ත්‍රී උදය ගම්මන්පිල ඒ වගේම උතුරේ සිටින කොටි විරෝධී නායකයකු වන ඩග්ලස්‌ දේවානන්ද මහතාට සපයා තිබුණ ආරක්‍ෂාව පොලිස්‌ භටයන් දෙදෙනකුට සීමා කරනවා.
ඊට පසු දින පිල්ලෙයාන්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට පැමිණිලි කරනවා. හිටපු කොටි සාමාජිකයන්, තමන්ගේ ආධාරකරුවන්ගේ දේපළ ගිනිබත් කරමින් පහරදෙමින් හිරිහැර කරන බවට.
ජනවාරි 16 වැනිදා කොටි සංවිධානයේ ප්‍රබල ආධාරකරුවකු වන ඩොනල් ඥනකෝන් සහ චැනල් 4 ප්‍රධානි කැලන් මැක්‌රේ ලංකාවට ඇතුළු වූ බව මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
එදිනම උතුරට යෑවීමට තහනම් කර තිබුණ භාණ්‌ඩ වර්ග සංඛ්‍යාව 16 සිට 3 දක්‌වා අඩුකර තිබෙනවා. ඒ වගේම විදේශිකයන්ට උතුරට යැමට තිබුණ සීමාසීමාවන් ඉවත් කර තිබෙනවා.
ඒ වගේම ජනවාරි 17 වැනිදා රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ එන්. ඩී. ටී. වී. නාලිකාව සමග සම්මුඛ සාකච්ඡාවකට එක්‌වෙමින් 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීමට තමන්ගේ ආණ්‌ඩුවේ සියලු පාර්ශ්වයන් එකඟයි යන මහා භයානක ප්‍රකාශය කරනවා. අවුරුදු 30 කටත් අධික කාලයක්‌ කරගන්න බැරිව සිටිය වැඩක්‌.
ඒ වගේම එදිනම හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය, මාධ්‍ය සමග ප්‍රකාශ කරනවා, 2009 යුද්ධය අවසන් වන විට හමුදාව උතුරේ අක්‌කර 26,000 ක හමුදා කඳවුරු පිහිටුqවාගෙන සිටිය බවත්, පසුව එය අක්‌කර 10,000 දක්‌වා අඩුකළ බවත්, එය තවදුරටත් අඩු කිරීම සඳහා අධ්‍යයනයක්‌ කරන ලෙස ආරක්‍ෂක අමාත්‍යාංශය උපදෙස්‌ දී ඇති බවත් ප්‍රකාශ කරනවා. ඊට පසුදාම බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය එම තනතුරින් ඉවත් කර තිබෙනවා. ජනවාරි 18 වැනි දින බුද්ධි අංශ භාර නියෝජ්‍ය පොලිස්‌පති චන්ද්‍රd වාකිෂ්ඨ තමන්ගේ ඉල්ලා අස්‌වීමේ ලිපිය භාර දෙනවා.
ඒ ආකාරයට මේ ලැයිස්‌තුව තවදුරටත් කියාගෙන යන්න පුළුවන්. මම කිව්වේ මේ ආණ්‌ඩුව බලයට පත්වෙලා දින 10 ක්‌ තුළ සිදු වී ඇති දේ පමණයි. පළමු දින 10 මෙසේ නම් දින 100 කෙසේ වේද කියලා අපට සිතාගන්න
පුළුවන්. දින 100 එසේ නම් වසර 6 ක්‌ රට භාර දුන්නොත් තත්ත්වය කෙසේද කියන එකත් අපට සිතාගන්න පුළුවන්.

 

--------------------------------------------------------------------------------------------------------------------------

* ඔබගේ ප්‍රතිචාරය අද ලක්දෙරණ වෙබ් අඩවියේ පළ කරනුයේ පහත සඳහන් කොන්දේසි මතය.
පුද්ගලයෙකු හෝ පුද්ගලයින්ට නිග්‍රහ නොකිරීම, අපහස නොකිරීම, අසභ්‍ය සහ පරුස වචන භාවිතා නොකිරීම, ප්‍රතිචාර සඳහා ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ නම් නිර්නාමික ලෙස භාවිතා නොකිරීම, ඉතා දීර්ඝ ප්‍රතිචාර නොදැක්වීම, අදාල පුවතට සම්බන්ධතාවයක් නැති ප්‍රතිචාර දැක්වීම, වෙනත් වෙබ් අඩවි වල පලවූ ප්‍රතිචාර සහ වෙනත් වෙබ් අඩවි ප්‍රචලිත කිරීමේ අරමුණින් කරන්නා වූ ප්‍රතිචාර යන ආදී කරුනු ඇතුලත් ප්‍රතිචාර අද ලක්දෙරණ වෙබ් අඩවියේ පළ නොකරන බව කරුණාවෙන් සැලකිල්ලට ගනු මැනවි.
සියලු පුවත් සඳාහා දක්වා ඇති පාඨක ප්‍රතිචාර "අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස" යටතේ ඔවුන්ගේම අදහස් විය යුතු අතර අද ලක්දෙරණ වෙබ් අඩවිය එම ප්‍රතිචාර සඳහා වග නොකියන බව මෙලෙස ඔබ සැමට අවධාරණය කරමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top