මුළු රටටම සාමය උදා වූ මැයි 19 ශෝක දිනයක්‌ ද?

අපේ රට නව ආර්ථීක හා දේශපාලන ගමන්මඟකට අවතීර්ණ කරමින් යළි කිසිදා යුද්ධයකට ඉඩ නොතබන බව පසුගියදා ජනාධිපතිතුමා ප්‍රකාශ කළා. නිමා වූ යුද්ධයෙන් සිදු වූ භෞතික හානිවලට විසඳුම් ලබා දුන්නත් බිඳුණු සිත් සුවපත් කිරීමේ ජාතික සංහිඳියා වැඩපිළිවෙළ වඩාත් ක්‍රමවත් කිරීමේ අවශ්‍යතාවයත් එතුමා අවධාරණය කළා. තිස්‌ වසරක්‌ පැවති යුද්ධය නිසා බිඳුණු සිත් සුවපත් කර ශ්‍රී ලාංකික ජාතියක්‌ ලෙස එක්‌සත්ව කටයුතු කිරීම සඳහා ක්‍රියාත්මක විය යුතු ජාතික සංහිඳියා වැඩපිළිවෙළ පිළිබඳව ආචාර්ය දයාන් ජයතිලකයන් සමග පාලිත සේනානායක පැවත්වූ සාකච්ඡාවකි මේ.

ජාතික සංහිඳියා වැඩපිළිවෙළ වඩාත් ක්‍රමවත්ව ක්‍රියාත්මක කිරීම සිදු කළ හැක්‌කේ කෙසේද?

රාජපක්‌ෂ ජනාධිපතිතුමාගේ කාලයේ සිදුවන්නට තිබූ සහ සිදු නොවූ යම් යම් කරුණු කාරණා තිබුණු බව අප පිළිගත යුතුයි. ඒවා කවරේද යන්නත් හරි හැටි තේරුම් ගත යුතුයි. එසේම රාජපක්‌ෂ ආණ්‌ඩු කාලයේදී සිදු කෙරුණු නිවැරදි දේවල් ගැනද සඳහන් කළ යුතුයි.

සංහිඳියාවක්‌ ගැන අපට කතාකිරීමට හැකි වී තිබෙන්නේ එල්ටීටීඊ සංවිධානය සම්පූර්ණයෙන්ම යුදමය වශයෙන් පරාජයට පත්කළ නිසාය. එය මහින්ද රාජපක්‌ෂ මහතාට කලින් සිටි කිසිම රාජ්‍ය නායකයකුට කරන්නට හැකි වූවක්‌ නොවේ. මහින්ද රාජපක්‌ෂ ජනාධිපතිතුමා එය ඉටු කිරීමෙන් මේ රටේ සංහිඳියාව ඇතිකිරීමට අවශ්‍ය එක්‌ පූර්ව කොන්දේසියක්‌ ඔහු විසින් නිර්මාණය කර ඇත. ඔහු එතැනින් නොනැවතී උතුර නැගෙනහිර ජන්ද හැකි හැම ආකාරයකින්ම 2009 සිට පවත්වනු ලැබිණි. පළාත් සභා, පළාත් පාලන, පාර්ලිමේන්තු හා ජනාධිපතිවරණ යන ඡන්ද හතර වර්ගයම උතුර නැගෙනහිර පවත්වනු ලැබුවේ දශක තුනකට පමණ පසුවය. එනම් උතුර නැගෙනහිර ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ප්‍රතිෂ්ඨාපිත කළේ, ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය යළි විවෘත කළේ මහින්ද රාජපක්‌ෂ ජනාධිපතිවරයායි. එතැනිනුත් නොනැවතී දැනට යම් විවේචනයන්ට ලක්‌වන ද්‍රව්‍යමය හෝ භෞතික සංවර්ධනය විසින් උතුර නැගෙනහිර යා කිරීමකුත් රාජපක්‌ෂ ජනාධිපතිවරයා විසින් සිදුකරනු ලැබිණි. රටක බෙදුම්වාදයක්‌ ඇතිවීමට එක්‌ හේතුවක්‌ වන්නේ ඒ රටේ අදාළ ප්‍රදේශය හෝ පළාත අනික්‌ පළාත්වලින් වෙන්වී සිටිනවා නම් පමණි. බෙදුම්වාදයට ඉඩ සලසන ඒ වෙන්වී සිටීමේ පැවැත්ම නමැති යථාර්ථය වෙනස්‌ කිරීමට මහින්ද රාජපක්‌ෂ ජනාධිපතිවරයා විශාල පියවර ගණනාවක්‌ ගත්තා. වෙන්වී සිටීමේ තත්ත්වය හුදෙක්‌ කටවචනයෙන් වෙනස්‌ කළ හැක්‌කක්‌ නොවේ. එය භාවිතාවෙන්ම වෙනස්‌ කළ යුතුයි. මේ රටේ යටත් විජිත ඉතිහාසය ගත්විට එකිනෙකින් වෙන්ව තිබූ පළාත් එක්‌ වූයේ බ්‍රිතාන්‍යයේ මහාමාර්ග හා දුම්රිය මාර්ග ඉදිකිරීමේ ව්යාවපෘති නිසාය. බ්‍රිතාන්‍ය අධිරාජවාදින් එය කළේ අපේ රට එක්‌සේසත් කිරීමට නම් නොවේ. ඔවුන් තම ආර්ථීක හා යුදමය වාසි සඳහා ගොඩනැඟූ ඒ මාර්ග පද්ධති නිසා රට ඒකාග්‍ර වුණා. එමෙන්ම මහින්ද රාජපක්‌ෂ ජනාධිපතිවරයා තමා දැනුවත්ව මහාමාර්ග, ආර්ථීක ව්‍යාපෘති සහ යාල්දේවිය මාර්ගයෙන් උතුර යළිත් දකුණ සමඟ ඒකාබද්ධ කරන්නටත් ඒ තුළින් බෙදුම්වාදී මානසිකත්වයේ ද්‍රව්‍යමය අත්තිවාරම දියකර දමන්නටත් විශාල වැඩකොටසක්‌ කළා. එසේම දරුණුතම ත්‍රස්තවාදී ක්‍රියාවල යෙදුණු පිරිස හැරෙන්නට එල්ටීටීඊයේ සාමාන්‍ය හේවායන් පුනරුත්ථාපනය කර යළි සමාජගත කිරීමත් බිඳුණු සිත් යළි සුවපත් කිරීමේ ව්‍යාපෘතියේ ඉතා වැදගත් ආදර්ශවත් ක්‍රියාවක්. මේ සියලු කාරණා සැලකිල්ලට ගත් විට පසුගිය පාලන සමය තුළ යුද්ධයෙන් බිඳුණු සිත් සුවපත් කිරීමට විශාල වැඩ කොටසක්‌ සිදුවුණා.

මේ කාරණය සම්බන්ධයෙන් පසුගිය රජය විසින් කළ යුතුව තිබූ, ඔවුන් සිදු නොකළ සැබෑ පියවර වන්නේ දේශපාලන සංහිඳියාවයි. එනම් ටීඑන්ඒ සංවිධානය සමග සිදුකළ සාකච්ඡා ක්‍රියාදාමය අතරමැද බිඳවැටීමට ඉඩදීමයි. එය බරපතළ වරදක්‌ ලෙස මම දකිමි. නමුත් ඒ නිසා පසුගිය රජය සංහිඳියාව වෙනුවෙන් කටයුතු නොකළා යෑයි චෝදනා කළ නොහැකියි.

අපේ රටේ එක ජනවර්ගයකට එක ජාතියකට හෝ එක්‌ ප්‍රදේශයකට සීමා කර බිඳුණු සිත් ගැන කතාකරන්න බෑ. එල්ටීටීඊ ත්‍රස්තවාදීන් විසින් මරා දැමුණු, කපා කොටා දැමුණු අතපය අහිමි කරනු ලැබූ දස දහස්‌ ගණනක සිංහල ජනතාවගේ සිත් බිඳී නැද්ද? ඒ බිඳුණු සිත් සුවකිරීමට ටීඑන්ඒ සංවිධානය හෝ ගජේන්ද්‍රන් පොන්නම්බලම්ගේ සංවිධානය හෝ මේ ආණ්‌ඩුව පියවර ගත යුතු නොවේද? සැබෑලෙස සිත් සුව කිරීම නම් එය සමස්‌ත ශ්‍රී ලාංකිකයන්ගේම සිත් සුව කිරීමේ මහා මෙහෙයුමක්‌ විය යුතුය. පැසිස්‌ට්‌වාදය පරාජය කර අප සියලු දෙනාම ලද විජයග්‍රහණය විජයග්‍රහණයක්‌ ලෙස සැමරීමෙන් කාගේවත් සිත් පෑරෙන්නේ නම් ඒ සිත්වල ඇති සිතුවිලි මොනවා දැයි අපට සිතාගත හැකියි. මැයි 19 දා සිදුවූයේ උතුරු නැගෙනහිර ජනතාව එල්ටීටීඊ වියගසෙන් මුදවාලීමයි. එසේ මුදවාලීම ශෝකයකට හේතුවක්‌ වන්නේ මන්ද? මැයි 19 යනු මැරුණු ජනතාව සැමරීමට සුදුසු දිනයක්‌ නොවේ. මන්ද? තිස්‌ වසරක්‌ තිස්‌සේ මෙරට සිදුවූ මහා ජන සංහාරය නැවතීම ඇරඹුණේ මැයි 19 වැනිදා නිසාය. මැයි 19 දා සිදු වූයේ සාමය උදාවීමයි. සාමය උදාවූ, මහා පරිමාණයෙන් මිනිසුන් මියයැම නතර වූ දිනය ශෝක දිනයක්‌ සේ සලකා මල්වඩම් තබන දේශපාලන ව්‍යාපාර හෝ ජන කොට්‌ඨාශයක්‌ රටේ ඇත්නම් ඔවුන්ගේ සිත් බිඳී ඇත්තේ මන්දැයි අපට තේරුම් ගත හැකියි. ඔවුන්ගේ සිත් බිඳී ඇත්තේ මැයි 19 දා බෙදුම්වාදී හමුදාව පරාජයට පත්වූ නිසාය. එවැනි සිත් සුවපත් කිරීමට කළ හැකි දෙයක්‌ නැත.

උතුර නැගෙනහිර ජනතාවගේ බිඳුණු සිත් සුවපත් කර සංහිඳියාවක්‌ ඇතිකිරීම සඳහා පෙඩරල් ක්‍රමයක් ක්‍රියාත්මක කළ යුතු බවට ඇතැමුන් යෝජනා කර තිබෙනවා?

ජාතීන් අතර සැබෑ සංහිඳියාවක්‌ ඇති කිරීමට නම් එම ක්‍රියාදාමය දෙපාර්ශවය වෙතම ගමන් කළ යුතු ක්‍රියාවලියක් විය යුතුයි. දකුණ විසින් උතුරේ සංහිඳියාවක්‌ ඇති කළ යුතුවා සේම උතුර විසින් දකුණේත් සංහිඳියාවක්‌ ඇති කළ යුතුයි. නමුත් අද ඇතැමුන් යෝජනා කරන්නේ ශ්‍රී ලංකාවේ සංහිඳියාව ඇති කිරීමට නම් පෙඩරල් ක්‍රමයක් ක්‍රියාත්මක කළ යුතු බවයි. ඉන්දීය අගමැති නරේන්ද්රි මෝදි මහතා මෙන්ම එරික්‌ සෝල්හයිම් මහතාත් ශ්‍රී ලංකාව සඳහා ෆෙඩරල් ක්‍රමයක් පිළිබඳව ප්‍රශංසාත්මකව කතා කර තිබෙනවා. ටී.එන්.ඒ. සංවිධානය හා වත්මන් ආණ්‌ඩුව අතර ලිඛිත නොවූ ගිවිසුමක්‌ ඇති බවත් එහි කරුණු මේ මොහොතේදී අනාවරණය කළ නොහැකි බවත් එම්. ඒ. සුමන්දිරන් මහතා තිනකරන් පුවත්පතට පවසා තිබුණා. චෙල්වනායගම් අනුස්‌මරණ දෙසුම පවත්වමින් හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග මහත්මිය ද ෆෙඩරල් ව්‍යවස්ථාවක් ගෙන ඒම පිළිබඳව ප්‍රකාශ කර තිබෙනවා. ශ්‍රී ලංකාවට ඇමරිකාවේ නව තානාපති ලෙස නම් කර ඇති අතුල් දෙශප් මහතා ඩේලි මිරර් පුවත්පතට 2014 ජූනි මසදී ලබාදුන් පුවත්පත් සාකච්ඡාවේදී මෙරටට ෆෙඩරල් ප්‍රඥපතියක අවශ්‍යතාව පිළිබඳ තෙවරක්‌ සඳහන් කර ඇත. සංහිඳියාව ඇතිවීමට නම් මේ රටේ බහුතරය විසින් ෆෙඩරල් ක්‍රමයකට එකඟවිය යුතු බවට අලුත් මතවාදයක්‌ මතුවෙමින් තිබේ. නමුත් අපේ රටේ ෆෙඩරල් ක්‍රමයක් ඇතිකිරීම තුළින් ඇති කළ හැකි සංහිඳියාවක්‌ නැත.

ශ්‍රී ලංකාව වැනි කුඩා රටක පිහිටීම හා ජන සංයුතිය ගත් කල කිලෝ මීටර් කිහිපයකට දුරින් දශලක්‌ෂ 70 ක දමිළ ජනතාවක්‌ සිටින තමිල්නාඩුවට යාබදව තිබෙන ලංකාවේ උතුර නැගෙනහිර පළාත්වල එම ජනවර්ගයටම අයිති එම භාෂාවම කතාකරන සුළුතරයක්‌ සිටින බවයි. ඒ දෙපළාත්හි පෙඩරල් ක්‍රමයක් ඇතිකිරීම යනු එහි දැනට පවතින බලයට වඩා විශාල බලයක්‌ ඇති කිරීමයි. එනම් ලංකාවේ උතුර නැගෙනහිර හා තමිල්නාඩුව අතර අදිසි පාලමක්‌ ගොඩනැඟීමයි. තමිල්නාඩුව හා උතුර නැගෙනහිර හාවීම පෙඩරල් ක්‍රමයක් හරහා නිසැක වශයෙන්ම සිදුවනු ඇත.

නව ජාතික සංහිඳියා වැඩපිළිවෙළක්‌ තුළින් බිඳුණු සිත් සුවපත් කිරීමට සැරසෙන මේ මොහොතේ යාපනයේ ඉතාමත් කනගාටුදායක සිදුවීමක්‌ ඇතිවුණා. ඒ දමිළ සිසුවියක්‌ සමූහ දූෂණයකට ලක්‌ව ඝාතනය වීමයි. ඝාතකයන් සියලු දෙනාම දමිළයින් වුවත් යාපනයේත් අවට නගර කිහිපයකත් ගැටුම්කාරී තත්ත්වයක්‌ මතුව තිබෙනවා. යාපනයේ අද මේ පැනනැඟී ඇති තත්ත්වය ඔබ දකින්නෙ කොහොමද?

පසුගියදා මුල්ලිවයික්‌කාල්හි පැවැති අනුස්‌මරණයේදී උතුරේ මහඇමති විග්නේශ්වරන් මහතා කළ කතාවේදී මෙය ඉතාමත්ම ශෝකාකූල දිනයක්‌ නිසා මේ දිනයේ සිදුවූ දේවල් නිසා උතුරු පළාත් සභාව විසින් සමූල ඝාතන යෝජනාවක්‌ සම්මත කරගත් බවත්ය. මෙය අහම්බයක්‌ නොවේ. එය මුල්ලිවයික්‌කාල් සමරුවේදී මතුකරනු ලැබුවේ දමිළ විඤ්ණය තුළ අද සිදුවී ඇති පරිවර්තනයේ සංඥාවක්‌ ලෙසයි.

ඊළඟට සිදුවී තිබෙන්නේ උතුරේ නගර කිහිපයක ඇති වූ ප්‍රචණ්‌ඩකාරී පෙළපාලිය. එයට හේතුව වී තිබෙන්නේ දමිළ තරුණ පිරිසක්‌ උතුරේ පාසල් දැරියක්‌ සමූහ දූෂණයකට ලක්‌කර මරාදැමීමයි. එවැනි සිදුවීමක්‌ සම්බන්ධයෙන් පෙළපාලි යැම ඕනෑම රටක සර්ව සාධාරණ ප්‍රතිචාරයකි. නමුත් එම පෙළපාලි ප්‍රචණ්‌ඩ ආකාරයක්‌ ගැනීම සහ නගර කිහිපයක එකවිට සිදුවීම සැකසහිතය. මේ දුෂ්ට සිදුවීමට සම්බන්ධ වී සිටින්නේ ශ්‍රී ලංකා හමුදාවේ හෝ පොලිසියේ සිටින හෝ සිටි පුද්ගලයන් නොවේ. සිංහල ජනවර්ගයට අයත් පුද්ගලයන්ද නොවේ. සියලුම සැකකරුවන් අත්අඩංගුවටත් ගෙන ඇත. එසේනම් රජයේ ආයතනවලට හා පොලිසියට එරෙහිව ප්‍රචණ්‌ඩ ආකාරයට ප්‍රතිචාර දැක්‌වීමට තිබුණු සාධාරණ හේතු මොනවාද?

දැරියක්‌ දූෂණය කළ විට සහ මරාදැමූ විට පෙළපාලි යන සිරිතක්‌ ලෝකය පුරාම තිබේ. නමුත් ඒවා සියල්ල සාමකාමී උද්ඝෝෂණ බව නවදිල්ලියේ ඇතිවූ සිදුවීමේදීත් අපි දුටුවෙමු. මේ දමිළ දැරියගේ ඝාතකයෝ කිසිවෙක්‌ ආණ්‌ඩුවට හෝ සිංහල ජනතාවට සම්බන්ධකම් ඇති අය නොවේ. එසේ නම් පොලිසියට ගල්මුල් ගසමින් හා රජයේ ගොඩනැඟිලිවලට පහරදීමට ඇති සැබෑ හේතුව පැහැදිලිය. එසේම නගර කිහිපයක එකවිට මෙම ප්‍රචණ්‌ඩකාරී පෙළපාලි පැවැතීමෙන් ඒවා ඉබේ ඇතිවූ ඒවා නොව සැලසුම්සහගතව සිදුකළ ඒවා බවද පැහැදිලිය. මේ පෙළපාලි පැවතියේ ද මැයි 19 සමරුවට ආසන්නවය. මෙහිදී සිදු වූයේ මේ දූෂණ සිදුවීම පෙරට දමාගෙන රාජ්‍ය විරෝධී නැඟිටීමකට පෙරහුරුවක්‌ නොවේද යන්න කළ යුතු කාරණයකි.

සාමාන්‍ය සිවිල් ජනතාව සටන්කාමී පෙළපාලිවලට හුරුපුරුදු කිරීම පසුගිය එජාප රජය පැවතිසමයේ පොංගුතමිල් නමින් එල්ටීටීඊය සංවිධාන කළ වැඩපිළිවෙළේ අරමුණයි. දමිළ දැරිය දූෂණය කර මරාදැමීමේ සිදුවීම පෙරට දමාගෙන පසුගියදා සිදුවූයේ එම පොංගුතමිල් වැඩසටහනේ දෙවැනි මුද්ර ණයක්‌ද යන්න සාධාරණ පැනයකි. ආනන්දි සිදරන් මෙහි ප්‍රමුඛ ස්‌ථානයක්‌ ගැනීමත් වැදගත් කාරණයකි.

යුද්ධය අවසන්වී වසර පහහමාරක කාලය තුළ පොලිසියට ගල්මුල් ගැසීම වැනි දේ යාපනයේ සිදු වූයේ නැත. සමූල ඝාතන යෝජනාවක්‌ උතුරු පළාත් සභාවේ සම්මත වූයේ ද නැත. මේ ජනවාරි 8 වැනිදායින් පසු ඇතිවූ සිදුවීම් දෙකකි. මෙබඳු දේ සිදුවන්නේ මේ ආණ්‌ඩුව තමුන්ගේ ජන්දයෙන් බිහිවූ ආණ්‌ඩුවක්‌ ලෙස උතුරේ මේ රැඩිකල් ජාතිවාදී කොටස්‌ සිතන නිසාද? ඔවුන් කෙසේ සිතුවත් ඔවුන්ට යාපනයේ මේ විදිහට හැසිරෙන්නට හැකිවී තිබෙන්නේ අද හමුදාව බැරැක්‌කවලට දමා යාපනයේ සිවිල් සමාජය තුළ සිදුවන දේවල් නිරීක්‌ෂණය කිරීමේ තත්ත්වයෙන් ඔවුන් ඉවත්කර තිබීම නිසාය. පසුගියදා මේ ගැටුම්කාරී තත්ත්වය ඇතිවනවිට උතුරේ නව ආණ්‌ඩුකාරවරයා කළ කී දේ කිසිවක්‌ පුවත්පත්වල හෝ පළ වී නෑ. මේ නිසා මධ්‍යම ආණ්‌ඩුවේ ආධිපත්‍ය අද කොතෙක්‌ දුරට උතුරේ බලපැවැත්වෙන්නේද යන්න ප්‍රශ්න කළ යුතුය. උතුරේ ආණ්‌ඩු විරෝධී හා රාජ්‍ය විරෝධී මානසිකත්වයක්‌ සිඝ්‍රයෙන් වර්ධනය වන බව පෙනේ. සංහිඳියාවේ නාමයෙන් ෆෙඩරල් ක්‍රමයක් සහිත නව ව්‍යවස්ථාවක් ක්‍රියාත්මක කිරීමට ආණ්‌ඩුව සූදානම් වන බව පෙනේ. අලුත් ව්‍යවස්ථාවක් අවශ්‍ය වන්නේ එවිට ජනමත විචාරණයකට නොගොස්‌ ඒකීය ක්‍රමය අහෝසි කොට ෆෙඩරල් ක්‍රමයක් ඇතිකිරීමටය.

මුලාශ්‍රය: දිවයින

--------------------------------------------------------------------------------------------------------------------------

* ඔබගේ ප්‍රතිචාරය අද ලක්දෙරණ වෙබ් අඩවියේ පළ කරනුයේ පහත සඳහන් කොන්දේසි මතය.
පුද්ගලයෙකු හෝ පුද්ගලයින්ට නිග්‍රහ නොකිරීම, අපහස නොකිරීම, අසභ්‍ය සහ පරුස වචන භාවිතා නොකිරීම, ප්‍රතිචාර සඳහා ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ නම් නිර්නාමික ලෙස භාවිතා නොකිරීම, ඉතා දීර්ඝ ප්‍රතිචාර නොදැක්වීම, අදාල පුවතට සම්බන්ධතාවයක් නැති ප්‍රතිචාර දැක්වීම, වෙනත් වෙබ් අඩවි වල පලවූ ප්‍රතිචාර සහ වෙනත් වෙබ් අඩවි ප්‍රචලිත කිරීමේ අරමුණින් කරන්නා වූ ප්‍රතිචාර යන ආදී කරුනු ඇතුලත් ප්‍රතිචාර අද ලක්දෙරණ වෙබ් අඩවියේ පළ නොකරන බව කරුණාවෙන් සැලකිල්ලට ගනු මැනවි.
සියලු පුවත් සඳාහා දක්වා ඇති පාඨක ප්‍රතිචාර "අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස" යටතේ ඔවුන්ගේම අදහස් විය යුතු අතර අද ලක්දෙරණ වෙබ් අඩවිය එම ප්‍රතිචාර සඳහා වග නොකියන බව මෙලෙස ඔබ සැමට අවධාරණය කරමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top