භික්‍ෂුවගේ සමාජ නායකත්වය විනාශ කිරීමට එරෙහි වෙමු

භික්‍ෂුවකගේ වචනවලට වඩා වැදගත් වන්නේ උන් වහන්සේගේ චර්යාවයි. එක් චර්යා අංශුවක් තුළ වචන දහස් ගණනකින් කියවෙන පණිවුඩයක් ගැබ්ව තිබේ. පිහිය රනින් කළ ද ඉන් පහර දුනහොත් ජීවිත හානි සිදුවන බව අපි දනිමු. බුද්ධ පුත්‍රයෙකු වුව, ඔහු අවම බුද්ධ විනය හා අභ්‍යන්තර සන්සුන්බව අහිමි කරගතහොත්, ඉන් පෙරළා භික්‍ෂුව නියෝජනය කරන බෞද්ධ සමාජයට පමණක් නොව, සමස්ත භික්‍ෂු සමාජයට ම සිදුවන හානිය සුවිශාල ය. පසුගිය දා හෝමාගම උසාවිය අසල සිදු වූ සිදුවීම්වලින් එම මැදිහත් වීමට අරමුණු වූ බුද්ධි අංශ නිලධාරී නිදහස් කර ගැනීම පිළිබඳ ප්‍රශ්නය අඟලකින් හෝ ගොඩ දැමීමට නොහැකි වූ බව සාමාන්‍ය දැනුමයි. ඉන් සිදු වූ එක ම දෙය වූයේ භික්‍ෂූන් අතළොස්සක ක්‍රිියාදාමයක් නිසා සමස්ත භික්‍ෂු සංස්ථාව ම අවමානයේ ගොදුරක් වීම හා රටේ ජාතිකත්ව කඳවුර ගැන පුරවැසියාට අපැහැදිළි සංඥා නිකුත් වීම ය. එකී ක්‍රියාව මෙහෙය වූවන්ගේ අරමුණ වූයේ ද එයම ද?
සිංහල බෞද්ධ සමාජයේ පදනම් බිඳ දැමීමට කැස කවමින් සිටින අතිශය සංවිධානාත්මක පිරිසක් නෙත් අයා සිටින්නේ භික්‍ෂුවකට වරදින තුරු ය. ඒ සිදුවන වරද අතිශෝක්තියට නංවා, එනම් එය සමස්ත භික්‍ෂු සමාජයේ ම පිළිබිඹුව ලෙස දක්වා ඒ හරහා පන්සලට හා භික්‍ෂුවට අප සමාජයට කළ හැකි බලපෑම හෑල්ලු කිරීමේ අරමුණ පෙරදැරිව ය. භික්‍ෂුවගේ නායකත්වය සිංහල සමාජය විසින් නොපිළිගන්නා තැනට රැගෙන ඒම ම අප සමාජය විනාශ කර දැමීමට ප්‍රමාණවත් ය. මන්ද සිංහල සමාජ දේහයේ මුදුන් මුල දරන්නේ බුදුදහම දේශනා කරන බව විස්වාස කරන භික්‍ෂුව විසින් ය. ඉදින් මුදුන් මුල නරක් වූ පසු ගසක පැවැත්ම කෙසේ වේද?
අපි දැන් සිටින්නේ දේශපාලනික ව පරාජිත ව ය. ජනවාරී 08න් පසු අපට මේ පොළොව මත හිතූ සේ බඩ පිනුම් ගසන්නට නොහැකි බව අපි අවබෝධ කරගත යුතු ය. එහෙත් අප පරාජයෙන් පසුබට වන ජාතියක් නොවන බව අපගේ මුළු ඉතිහාසය ම සාක්‍ෂි දරයි. අපි නැවතත් ජයග්‍රහණය කරා යා යුතු වන්නෙමු. එහෙත් ඊට කෙටි මං නැත. හැඟූම්බර ප්‍රවේශ ද නැත. කෙටි මං සෙවීම හෝ තැන නොතැන බලා හැඟූම්බව ව ගන්නා ක්‍රියාමාර්ගවල විපාකය භූමරංගයක් ව නැවත අප සොයා එන්නේ අපට අපහසුවෙන් උපයාගත් සියළු දෙය සැණින් විනාශ කරමින් ය. එසේ කිරීමට හැකි පුහුණුකළ බලමුළුවක් තාමත් සක්‍රිය බව අපට යමක් වැරදුන විට ම අපට එරෙහි ව නැගෙන සංවිධානාත්මක ප්‍රහාරයන්ගෙන් පැහැදිළි වේ.
අන්තවාදී ක්‍රියා ලෙස කෙනෙකුට අර්ථකතනය කළ හැකි අප කඳවුරේ ම අතැම් ක්‍රියා අප විසින් එසැණින් ම විවේචනය කිරීම කරනු ලබන්නේ ද දුරදිග බලා එකී ක්‍රියාවන්හි විපාක අප කරා ම නැවත එන බව හොඳින් දන්නා හෙයිනි. එහි දී පුද්ගලික ව අපට එරෙහි ව කරන දැඩි විවේචන හා ප්‍රහාර ආදිය පවා අපි සැලකිල්ලට නොගන්නේ ඒ සියල්ල අප රටේ උස් අරමුණ හමුවේ ලිලිපුටු වන නිසා ය. සිංහ‍-ලේ මෙන් ම බොදුබල සේනා පිළිබඳ අපට කිසිදු පුද්ගලික අමනාපයක් නැත. එහෙත්, දේශපාලනික ව ජාතිකත්ව කඳවුර ජයග්‍රහණය කරවීම අරමුණු කරගත් අපට, ඉහත සංවිධාන ජාතිකත්ව කඳවුරේ දේශපාලන ප්‍රතිබිම්බය ලෙස හුවා දැක්වීවේ දිගුකාලීන අනතුර අපි අවබෝධකරගෙන සිටිමු. කෙසේ වෙතත්, එම සංවිධානවලට අපගේ ව්‍යාපෘථිය උදෙසා යම් යම් සමාජ ස්ථරවල කළ හැකි මෙහෙය අවතක්සේරු නොකරන බව ද සැලකුව මනා ය.
භික්‍ෂූන් පාලනය කිරීම සඳහා ආණ්ඩුව විසින් පනතක් ගෙන ආවේ ඊයේ පෙරේ දා ය. එම පනතට නැගුණු විරෝධයේ උණුසුම මැකෙන්නට ද පෙර පනතට නිමිත්ත වූ භික්‍ෂුව විසින් ම එකී පනත සාධාරණ බව පෙනීයන ලෙස හැසිරීම කොතරම් දෛවෝපගත ද? ධර්මය ගැන සවිඥානික බෞද්ධයා විසින් ම එය දැන් අනුමත නොකරනු ඇති ද? මේ අතර, රනිල්-මෛත්‍රී ආණ්ඩුව විසින් අප රට හමුවට ගෙනවිත් ඇති නව ව්‍යවස්ථා ගැටළුව හා ඒ ආශ්‍රීත ඒකීයභාවය වැනි ගැටළු මෙන් ම එහි බුදුදහමට දෙනු ලබන තැන වැනි ප්‍රශ්න මතු නොව, රට ගිල්ලවමින් යන ආර්ථික අගාධය පිළිබඳ ව ද අප කඳවුර විසින් ඉදිරියේ දී කළ යුතු විශාල කාර්යභාරයක් තිබේ. නිශ්චිත අරමුණක් රහිත හැඟුම්බර හා උද්වේගතර ක්‍රියාවන් තුළින් වන්නේ රටේ අවධානය ප්‍රමුඛ දිසාවන්ගෙන් ඉවත් ව සිල්ලර දිසාවන්ට යොමු වීම ය. ඥානසාර හිමියන් ඉල්ලා ඇති පරිදි බුද්ධි අංශ නිලධාරීන් නිදහස් කොට ඒ වෙනුවට භික්‍ෂූන් වහන්සේ සිරගත කරගැනීම වැනි යෝජනා අමනෝඥ ය. ඕලාරික ය. නිරර්ථක ය. එමෙන් ම එක්නැළිගොඩ බිරිඳට මුදාහල ආවේගකාරී වාගාලාප ද වීරකම් නොව, මෝඩකම් ය. භික්‍ෂුත්වයට ගැලපෙන ක්‍රියා හා වචන පාවිච්චි කරමින් උසාවිය අසල සත්‍යක්‍රියාවක් හෝ වෙනත් අහිංසාවාදී ක්‍රියාවක යෙදුනේ නම් ඉන් අදාළ නඩුවට ද පුද්ගලයින්ට ද කිසියම් ධනාත්මක බලපෑමක් කළ හැකි ව තිබුණි. එහෙත් සිදු වූ දෙයෙහි ඵලය වූයේ සංඥාව ද සංඥිතය ද යන දෙක ම ගර්හාවට ලක්වීම පමණි.
මහින්ද පතිරණ
--------------------------------------------------------------------------------------------------------------------------

* ඔබගේ ප්‍රතිචාරය අද ලක්දෙරණ වෙබ් අඩවියේ පළ කරනුයේ පහත සඳහන් කොන්දේසි මතය.
පුද්ගලයෙකු හෝ පුද්ගලයින්ට නිග්‍රහ නොකිරීම, අපහස නොකිරීම, අසභ්‍ය සහ පරුස වචන භාවිතා නොකිරීම, ප්‍රතිචාර සඳහා ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ නම් නිර්නාමික ලෙස භාවිතා නොකිරීම, ඉතා දීර්ඝ ප්‍රතිචාර නොදැක්වීම, අදාල පුවතට සම්බන්ධතාවයක් නැති ප්‍රතිචාර දැක්වීම, වෙනත් වෙබ් අඩවි වල පලවූ ප්‍රතිචාර සහ වෙනත් වෙබ් අඩවි ප්‍රචලිත කිරීමේ අරමුණින් කරන්නා වූ ප්‍රතිචාර යන ආදී කරුනු ඇතුලත් ප්‍රතිචාර අද ලක්දෙරණ වෙබ් අඩවියේ පළ නොකරන බව කරුණාවෙන් සැලකිල්ලට ගනු මැනවි.
සියලු පුවත් සඳාහා දක්වා ඇති පාඨක ප්‍රතිචාර "අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස" යටතේ ඔවුන්ගේම අදහස් විය යුතු අතර අද ලක්දෙරණ වෙබ් අඩවිය එම ප්‍රතිචාර සඳහා වග නොකියන බව මෙලෙස ඔබ සැමට අවධාරණය කරමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top