බෙල්ජියම් ජාතිකයෙකුගේ නමින් එන ඩොලර් බිලියනය එල්ටීටියේ ද?

කිසිදු පාලනයකින් තොරව රුපියල පා වීම හා ඒ ආශ්‍රීත ව ගොඩ නැගී ඇති මූල්‍ය හා ආර්ථික අර්බුද මෙන් ම නැගී එන ගෙවුම් ශේෂ අර්බුදයට විසඳුමක් ලෙස ඩොලර් බිලියනයක පමණ මුදල් කන්දරාවක් තාමත් හඳුනා නොගත් බෙල්ජියම් ජාතික ධනකුවේරයෙකුගෙන් ලබාගැනීම සඳහා රජය කටයුතු කරමින් සිටින බව වාර්තා වේ. සාමාන්‍යයෙන් මෙවැනි ගැටළුවල දී මැදිහත් වන්නේ අන්තර් ජාතික මූල්‍ය අරමුදලයි. කෙසේ වෙතත්, අන්තර් ජාතික ප්‍රජා වන්දනාවේ යන ආණ්ඩුවට එකී අරමුදලින් ණය ලබා ගැනීමට නොහැකි වී තිබෙන බව ඉහත වන් පුද්ගලික ධනකුවේරයින් පසුපස යෑමෙන් ම පෙනේ. මෙම නොහැකියාවට බලපා ඇත්තේ රටේ මූල්‍ය කළමනාකරන තත්වය බව පැහැදිළි ය. බැංකුවකින් ණයක් ලබාදීමට නම් ණය ලබන්න‍ා එය ගෙවීමට මෙන් ම ආදායම් ඉපදීමට හැකියාව පෙන්විය යුතු ය. එහෙත් වත්මන් ආණ්ඩුව ආදා සිට ආර්ථික ක්‍ෂේත්‍රයේ සිදු වූයේ කඩා වැටීම ය. කොටස් වෙළඳ පොළ වසර පුරා කඩා වැටීමේ පුරුද්ද නව වසරට ද දිගු වෙමින් අද දින ඇතුළත එය විශාල ප්‍රමාණයකින් පහළට ඇද වැටුණේ ය. ආණ්ඩුවේ දුබල ක්‍රියා කලාපය නිසා ආයෝජකයින් කොටස් වෙළඳපොලින් සිය ආයෝජන ඉවත් කර ගැනීම මීට ප්‍රධාන වශයෙන් බලපා තිබේ. විශේෂයෙන් ම විදෙස් ආයෝජකයෝ රට හැර යමින් සිටිති. ආර්ථික වර්ධන වේගය බොහෝ සෙයින් අඩු වී ඇත.
මෙසේ රට හැරදා ඩොලර් පිටතට යෑම මුක්කු ගැසීමට පුද්ගලික ධනකුවේරයින් රටට වද්දා ගැනීම තුළ ඇත්තේ විශාල අනතුරකි. මෙසේ එන මුදල් කෙසේ උපයාගත් ඒවා ද යන්න කිසිවෙක් නොදනිති. බෙල්ජියම් ආයෝජකයෙකුගේ නමින් එන මෙම මුදල් කාට අයිති ද යන්න පවා අපි නොදනිමු. විශේෂයෙන් ම මෙම මුදල් එල්ටීටී ඩයස්පෝරාවේ ඒවා වන්නට ද බැරි නැත. ඩයස්පෝරාවට සම්බන්ධ රාජ් රාජරත්නම් වැනි මහාපරිමාන අරමුදල් හිමිකරුවන්ගේ මුදල් මෙසේ වෙනස් නමකින් රටට ඒමට ඇති හැකියාව ද බැහැර කළ හැකි නොවේ. රාජරත්නම් වත්මන් රජයේ ඇමතිවරුන් හා ඍජු සබඳතා පැවැත් වූ බව පසුගිය කාලයේ රටට හෙළි විය. ඒ අනුව, ඔහුගේ හෝ ඔහු වැන්නෙකුගේ පමණක් නොව, ඕනෑම පුද්ගලයෙකුගේ ඩොලර් මත රටේ ආර්ථිකය රඳා පැවැත්මට ඉඩදීම විනාශකාරී වීමට පිළිවන. මෙම මුදල රට තුළට ගැනීමේ දී එය ඉවත් කරගන්නා ආකාරය හෝ කාලය පිළිබඳ කොන්දේසියක් ද නැති බව අපට දැන ගන්නට ලැබී තිබේ. එනම් එම මුදල ආදාළ ආයෝජකයාට ඕනෑම අවස්ථාවක දී ඉවත් කරගත හැක.
මෙසේ දෙනු ලබන මුදල අදාළ පුද්ගලයා විසින් රටට අත්‍යාවශ්‍ය මොහොතක ඉවත් කර නොගෙන සිටිතැයි කාට නම් සහතික විය හැකි ද? මේ අතර, එවන් ඉවත් කිරීමක් නොකර සිටීම සඳහා එවන් පුද්ගලයෙකුට රජයට කොන්දේසි දැමීම පවා කළ හැකි ය. රජයට එම කොන්දේසි පිළිගැනීමට ද සිදුවනු ඇත. මන්ද රටේ මූලි පද්ධතිය ඒ මත තිබෙන නිසා ය. එසේ නම්, එල්ටිටිය වැනි සංවිධානයක් විසින් පාලනය වන මුදලක් නම් ඔවුන් ශ්‍රී ලංකාවට කුමන තරමේ කොන්දෙසි දමනු ඇති ද යන්න අපට සිතා ගැනීමට හෝ අපහසු වනු ඇත. එළඹ ඇත්තේ ව්‍යවස්ථා කෙටුම්පත් කරන කාලයකි.
මේ ආණ්ඩුව කඩේ යන්නේ ම ඇමරිකාවට හා බටහිරට ය. එහෙත් මෙම රටවල් ලංකාවේ නියම මිතුරන් නොවන බව අප අව‍බෝධ කටයුතු ය. ඔවුන් එන්නේ අප ව කෙසේ හෝ යටත් කර ගැනීමට විනා වැටුණු වළකින් ගොඩ ඒමට නොවේ. ආණ්ඩුව පත් වූ දින සිට මෙරටට පැමිණි බටහිරයන් සියල්ල ම පා‍හේ මානව හිමිකම් සංචාරකයින් වූ අතර එකදු ආයෝජකයෙකු හෝ ආවා අප අසා නැත. බටහිර පදයට නටන ඉන්දියාව ද දැන් එසේ ය. එදා යාපනය වැටීමට ඔන්න මෙන්න තිබිය දී පාකිස්ථානය ඉදිරිපත් ව මල්බැරල් නොසපයන්නට 40000ක සෙබළ සංඛ්‍යාවක් යාපනයේ දී සමූල ඝාතනය වන්නට ඉඩ තිබුණි. ඉන්දියාව එවර කීවේ අදාළ සෙබළුන් යාපනයෙන් ඉවත් කිරීමට තමන්ට නැවක් සැපයිය හැකි බව පමණි.
අපට නම් හැඟී යන්නේ රජය විසින් මේ කරන්නේ හිතාමතා ම ලංකාව පුද්ගලික ධයකුවේරයින්ගේ නූලට නැටවෙන රූකඩයක් බවට පත්කිරීමට යාමකි. මුදල් අවශ්‍ය නම් කළ යුත්තේ විධිමත් සංවිධානවලින් හෝ රජයන්ගෙන් මුදල් ගැනීම ය. වරක් මහින්ද රාජපක්‍ෂ යුගයේ දී මුල්‍ය අර්බුදයක් පැමිණි විට එක් දුරකතන ඇමතුමක වියදමින් ලිබියාවේ හිටපු ජනාධිපති කර්නල් මුවමර් ගඩාෆි විසින් කිසිදු කොන්දේසියක් නොමැති ව මහින්දට ඩොලර් මිලියන 500ක් පමණ ලබා දුන්නේ ය. මිතුරන් එසේ ය. ඇමරිකානු බලපෑමට අන්තර්ජාතික මූල්‍ය අරමුදල විසින් යුද්ධය අවසන් වූ සැණින් 2009 වසරේ දී ලංකාවට ණය දීම ප්‍රතික්‍ෂේප කිරීමේ දී චීනය වහා ඩොලර් බිලියන 1.5ක් දීමට එකඟ වූවා ය. කෙසේ වෙතත්, මෙය දැනගත් මූල්‍ය අරමුදල පසුව ඉල්ලු මුදල මෙන් දෙගුණයක් ලබා දීමට ඉදිරිපත් විය. රාජ්‍ය තාන්ත්‍රිකත්වය හා නායකත්වය එසේ ය. ජනවාරී 08 අපට අහිමි වූයේ ද මේ දෙක තවත් බොහෝ දේ ය. විටෙක අප රට දිනක නවතිනු ඇත්තේ කිසියම් රටක, සංවිධානයක හෝ පුද්ගලයෙකුගේ දේපළක් බවට පත්වෙමිනි.

මහින්ද පතිරණ

--------------------------------------------------------------------------------------------------------------------------

* ඔබගේ ප්‍රතිචාරය අද ලක්දෙරණ වෙබ් අඩවියේ පළ කරනුයේ පහත සඳහන් කොන්දේසි මතය.
පුද්ගලයෙකු හෝ පුද්ගලයින්ට නිග්‍රහ නොකිරීම, අපහස නොකිරීම, අසභ්‍ය සහ පරුස වචන භාවිතා නොකිරීම, ප්‍රතිචාර සඳහා ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ නම් නිර්නාමික ලෙස භාවිතා නොකිරීම, ඉතා දීර්ඝ ප්‍රතිචාර නොදැක්වීම, අදාල පුවතට සම්බන්ධතාවයක් නැති ප්‍රතිචාර දැක්වීම, වෙනත් වෙබ් අඩවි වල පලවූ ප්‍රතිචාර සහ වෙනත් වෙබ් අඩවි ප්‍රචලිත කිරීමේ අරමුණින් කරන්නා වූ ප්‍රතිචාර යන ආදී කරුනු ඇතුලත් ප්‍රතිචාර අද ලක්දෙරණ වෙබ් අඩවියේ පළ නොකරන බව කරුණාවෙන් සැලකිල්ලට ගනු මැනවි.
සියලු පුවත් සඳාහා දක්වා ඇති පාඨක ප්‍රතිචාර "අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස" යටතේ ඔවුන්ගේම අදහස් විය යුතු අතර අද ලක්දෙරණ වෙබ් අඩවිය එම ප්‍රතිචාර සඳහා වග නොකියන බව මෙලෙස ඔබ සැමට අවධාරණය කරමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top