බක් පසොලොස්වක පෝය

අවුරුද්දේ එළඹෙන මාස දොළසින් බක් මාසය කොයි කවුරුනුත් සැනසිල්ලෙන් ජීවත් වන සොම්නස් සුවය ගෙනදෙන නොයෙක් සිරියෙන් පිරිතිරි සරු සාරවත් මාසයක් වශයෙන් සම්මත ව ඇත. හැම තුරුලියක් ම විසිතුරු මලින් හා මනහර පලයන් ගෙන් ගැවැසි ගිය, නොයෙක් සියොත් කැලන් ගේ කන්කලු නාදයෙන් ප්‍රබෝධිත වූ, මදින් මඳ හමන සිසිල් මඳ පවනින් හා නන් විසිතුරු පියුම් සුවඳින් පරිවාශිත වූ මනහර පියකරු පියුමෙන් ගැවසීගත් වල් පෙළින් සමුපේත වූ, බක් මාසය සත් සිත් සතන් සනසන ශාන්ත වූත්, පියකරු වූත් මාසයකි.

වෙහෙසින් ලක්වැසි බොදුනුවන් හට අමා සිසිල ලබා දෙන කුලුණුබර බුදුපියාණන් වහන්සේ ගේ මහා ගුණකඳ මනසට නංවන අසිරිමත් මසකි. මේ සුන්දර දිවයින දෙවන වරටත් බුදුසිරිපා පහසින් පිවිතුරු බවට පත් වූයේත් ගොයුම් ගොත් දම්රදාණන් ගේ සවනක් රැස් කඳින් මුළු හෙළදිව ආලෝකවත් වූයේත් දහම් අමා හිමිරෙන් නොයෙක් දනා නිවීසැනහී ගියේත් බක් මාසයේ ය.

භාග්‍යවතුන් වහන්සේ උදේ සවස විසි සතර කෝටි ලක්ෂවාරයක් මහා කරුණා සිත පතුරවමින් ලෝ වැඩ වැඩීම සිරිතකි. බුද්ධත්වයෙන් පස්වැනි වර්ෂයෙහි සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩ වෙසෙන බුදුරජාණන් වහන්සේට චුලෝදර – මහෝදර යන නාග රජුන් දෙදෙනා අතර මිණි පළඟක් පිළිබඳව ඇති වූ සටනක් ගැන දක්නට ලැබිණ. උන්වහන්සේ නාගයන් කෙරෙහි කරුණායෙන් ඔවුනට සුවසෙත් සාදාදෙනු පිණිස බක් මස අවපසළොස්වක් පොහෝදා අලුයම සෘද්ධියෙන් නාගදීපයට වැඩිසේක.

මහා බලසම්පන්න මහෝදර නාගරාජ තෙමේ මුහුදේ පන්සියයක් යොදුන් නාග භවනෙහි අධිපති කම් කරමින් සිටියේ ය. ඔහු ගේ සහෝදරී කන්වමන් නම් පර්වතයෙහි නා රජු භට පාවා දෙනු ලැබුවා ය. ඒ දෙදෙනාට ලැබුණු පුත්‍රයා චුලෝදර නම් විය. ගොඩ වැසි නාගයෝත මුහුද වැසි නාගයන් මෙන් මහා බල සම්පන්නයෝ වූහ. චුලෝදර ගේ සීයා කළුරිය කරන කල්හි තමා සතු ව තිබුණු ඉතා වටිනා මැණික් පුටුව පුතාට නොදී චුලෝදර ගේ මව වන දියණියන් හට දුන්නේ ය. මාමා සහ බෑණා එනම්, චුලෝදර මහෝදර යන නාරජුන් දෙදෙනා අතර යුද්ධයට හේතු වූයේ මේ මිණි පළඟ ය. බුදුරජාණන් වහන්සේ ගේ මේ ගමනට දෙව්රම් දොරටුවේ කිරිපලුරුක අරක්ගෙන සිටි සමිද්ධි සුමන නම් දෙවියා ද කැඳවූ සේක. ඒ දෙවි රද තමාගේ භවනය වු කිරිපලුරුක උදුරා තථාගතයන් වහන්සේට ජත්‍රයක් මෙන් අල්ලා ගෙන තමා පෙර ජාතියේ විසූ ස්ථානය වන නාගදීපයට පැමිණියේ ය.

සමිද්ධි සුමන දිව්‍යරාජයා දෙව්රම් වෙහෙර දොරටුවේ කිරිපලු රුක අධිගෘහිත දේවතා වන්නට පෙර ජාතියේ නාගදීපයේ මනුෂයෙකු ව උපද සිටියේ ය. එකල කිරිපලු වෘක්ෂයක් යට වැඩ සිට දන් වළඳන පසේ බුදුවරයන් වහන්සේලා දැක උන්වහන්සේලාට පාත්‍ර පිරිසුදු කර ගන්නට කොළ කඩා දුනි. ඒ පින් බෙලෙන් මිනිස් තෙමේ දෙව්රම් වෙහෙරැ කිරිපලුරුකෙහි දෙවියකු ව උපන්නේ ය. මේ මහාවංසයේ දැක්වෙන එම ප්‍රවෘත්තිය යි.

බුදුරජාණන් වහන්සේ බක් අවපසළොස්වක් පොහෝදා උදෑසන ලක්දිව නාගදීපයට වැඩමවා අහසෙහි සිට එහි යුද බිමට වැද සිට දෙපසෙහි නාගයන් බිය ගන්වනු සඳහා මහත් ගන අඳුරක් මැවූහ. නාගයන් බියෙන් හැකිළි සිටින විට ආලෝකයක් මවා තමන් වහන්සේ ඔවුනට දක්නට සැලැස් වූහ. එයින් ඉමහත් සොම්නසට හා සැනසීමට පත් නාගයෝ සර්වඥයන් වහන්සේ දැක බුදු සිරි පා කමල් වැන්දාහ.

ලෝක නාථයන් වහන්සේ චුලෝදර මහෝදර නා රජුන් දෙදෙනා ප්‍රමුඛ දෙපක්ෂයේ පිරිස සමගි කරවීමට සමත් ධර්මයක් ඔවුනට දේශනා කළහ. සසර ආදීනව, මක්ඛ පලාසාදීන් ගේ ආදීනව, කාකොලුක ජාතකය, එන්දන ජාතකය, ලටුකික ජාතකය, වට්ටක ජාතකය යන මේවායින් වෛර කිරීමෙහි ඇති දෝෂයන් හා සමගි බවේ ඇති අනුසස් ද ප්‍රකාශ කරමින් බුදුහු අවවාද දුන්හ. පසුව යුද වැදී සිටින නා රජුන් දෙදෙනා ධර්ම කථා ශ්‍රවණයෙන් අපමණ පී‍්‍රතියට පත්ව යුද්ධයට හේතු වූ මිණි පළඟ තථාගතයන් වහන්සේට පිදුහ. අහසින් බැස එහි වැඩ හුන් සර්වඥයන් වහන්සේ නාගයන් විසින් පිළිගන්වන ලද දිව්‍ය ආහාර පාන වළඳා අවසනැ අසූ කෝටියක් නාගයන් තිසරණ පන්සිල් හි පිහිටුවා පාරිභෝගික චෛත්‍යයක් වශයෙන් වැඳුම් පිඳුම් කරනු පිණිස කිරිපලුරුක හා මිණි පළඟ නාගයන්ට පවරා දී සැවැත් නුවර දෙව්රම් වෙහෙරට පෙරළා වැඩියහ. මෙහිදී සිදුවුණු තවත් ප්‍රධාන කරුණක් ඇත.

මහෝදර නා රජුගේ මයිල් වූ මණිඅක්ඛික නාග රාජ තෙමේත් කැළණි පුරයේ සිට බෑණාට උදව් පිණිස සටන් බිමට ගොස් සිටියේය. බුදුරදුන් ගේ ප්‍රථමවර මහියංගණයට වැඩි ගමනේ දී බණ අසා සරණ සිල්හි පිහිටා සිටි මණිඅක් නාරද තථාගතයන් වන්සේට නැවත ගමනකදී තමාගේ වාසභවනය වූ කැළණි පුරයට වඩින ලෙස ආරාධනා කෙළේ ය. බුදුහු එම ආරාධනය තුෂ්ණිම්භාවයෙන් පිළිගත්හ.

මෙබඳු ඓතිහාසික සිද්ධියකින් ශ්‍රෙෂ්ඨත්වයට පත් බක් පොහොය බෞද්ධයන්ට මහත් පී‍්‍රතියක් උපදවන දිනයෙකි. බුදුරජාණන් වහන්සේ ගේ අනන්ත ගුණ සමුදාය මනසට නැගී එන උතුම් ආගමික පූජනීය දිනයෙකි. අවුරුදු දෙදහස් ගණනකට පෙර ලංකාවෙහි සිදු වූ ඓතිහාසික පෞරාණික ශාසනික පුරා වෘත්තයක් සිහිපත් කරවන වටිනා දිනයෙකි.

තුන්ලොව සතුන් කෙරෙහි මහත් කරුණාන්විත හෘදයෙන් යුතු ව ක්‍රියා කළ බුදුරජාණන් වහන්සේ ලක්වැසි දනන් කෙරෙහි විශේෂ බලාපොරොත්තුවෙකින් යුතුව විසූ බව නොයෙක් ප්‍රවෘත්තිවලින් පැහැදිලි වෙයි.

▬▬▬▬ නාගදීප චෛත්‍යය ▬▬▬▬

මෙසේ විවිධ වූ රජවරුන්ගෙන් ප්‍රතිසංස්කරණය වූ ‘නාගදීප චෛත්‍යය’ බෞද්ධයාගේ සැදැහැති සිත පුබුදු කළ සොළොස්මස්ථානයන්ගෙන් විශේෂිත වූ පුද බිමක් විය.

පුරාතනයේ වංශ කතාවලට අනුව ‘නාගදීපය’ ලෙස උතුරු දනව්ව හඳුන්වා ඇත. ක්‍රි.ව. දෙවන සියවසට අයත් වල්ලිපුරම් හි තිබූ රන්පතට අනුව ‘නකදිව’ නම් වූ මෙම රම්‍ය භූමිය නාග ගෝත්‍රිකයන්ගේ නිජබිම වූයේය. ටොලමිගේ ලංකා සිතියමට අනුව ‘නගදිබ’ නම් වූ උතුරු දනව්ව සද්ධර්මාලංකාරයේ ‘මනිනක්දිව‘ නමින්ද රසවාහිනියේ ‘මනිනාග දිවයින’ නමින් ද හඳුන්වා ඇත.

මෙසේ විවිධ වූ නාමයන්ගෙන් යුක්ත වූ උතුරුකරය සම්බුදු පහසින් පිවිතුරු වූයේ බක් අමාවක පොහොය දිනයකදීය. ලක්දිවිතලය දෙවන වරටත් සදහම් ප්‍රදීපයෙන් ඒකාලෝක කර වූ මේ බක් අමාවක පොහොය බෞද්ධයාට පුර පසළොස්වක පොහොය දිනයක් සේ අගනේය.

යුද බිය දුරැලා නාගයන් සදහම් සිසිලෙන් දමනය කරවූ මේ පින්බර බක් පොහොය දිනයේදී බෞද්ධයන් වූ අපිද අවිද්‍යාව දුරැලා සසර ගමන් මඟ සදහම් ප්‍රදීපයෙන් ඒකාලෝක කර ගනිමු.

--------------------------------------------------------------------------------------------------------------------------

* ඔබගේ ප්‍රතිචාරය අද ලක්දෙරණ වෙබ් අඩවියේ පළ කරනුයේ පහත සඳහන් කොන්දේසි මතය.
පුද්ගලයෙකු හෝ පුද්ගලයින්ට නිග්‍රහ නොකිරීම, අපහස නොකිරීම, අසභ්‍ය සහ පරුස වචන භාවිතා නොකිරීම, ප්‍රතිචාර සඳහා ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ නම් නිර්නාමික ලෙස භාවිතා නොකිරීම, ඉතා දීර්ඝ ප්‍රතිචාර නොදැක්වීම, අදාල පුවතට සම්බන්ධතාවයක් නැති ප්‍රතිචාර දැක්වීම, වෙනත් වෙබ් අඩවි වල පලවූ ප්‍රතිචාර සහ වෙනත් වෙබ් අඩවි ප්‍රචලිත කිරීමේ අරමුණින් කරන්නා වූ ප්‍රතිචාර යන ආදී කරුනු ඇතුලත් ප්‍රතිචාර අද ලක්දෙරණ වෙබ් අඩවියේ පළ නොකරන බව කරුණාවෙන් සැලකිල්ලට ගනු මැනවි.
සියලු පුවත් සඳාහා දක්වා ඇති පාඨක ප්‍රතිචාර "අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස" යටතේ ඔවුන්ගේම අදහස් විය යුතු අතර අද ලක්දෙරණ වෙබ් අඩවිය එම ප්‍රතිචාර සඳහා වග නොකියන බව මෙලෙස ඔබ සැමට අවධාරණය කරමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top