“ජ.වි.පෙ. ජනතාව නොමග යවනවා ” – මහින්ද රාජපක්‍ෂ

ජ.වි.පෙ. නායක අනුර කුමාර දිසානායක මහතා විසින් මැතිවරණ රැස්වීමක් අමතමින් ජනාධිපති කොමිසමක් විසින් මහින්ද රාජපක්‍ෂ මහතා කොටි සංවිධානයට මුදල් දුන් බවට තීන්දු වුවහොත් රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රජා අයිතීන් නැතිවිය හැකි බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා තමාට පැවසූ බව යනාදී විවිධ අසත්‍ය කරුණු කියමින් චන්ද දායකයින් නොමග යවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසන අතර එම අසත්‍ය කරුණු ගැන මහින්ද රාජපක්ෂ මහතා විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.

එම මාධ්‍ය නිවේදනය පහත පරිදි වෙයි.

” ඊයේ(20)  පැවති මැතිවරණ රැස්වීමක් අමතමින් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහින්ද රාජපක්‍ෂ මහතා සම්බන්ධයෙන් කී කරුණු කීපයකට අප මෙලෙස ප‍්‍රතිචාර දක්වමු.

ජනාධිපති කොමිසමක් විසින් මහින්ද රාජපක්‍ෂ මහතා කොටි සංවිධානයට මුදල් දුන් බවට තීන්දු වුවහොත් රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රජා අයිතීන් නැතිවිය හැකි බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා තමාට පැවසූ බව ජ.වි.පෙ. නායකයා කියා සිටියේය.

රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රජා අයිතිය නැති වීමට ඉඩ ඇති නිසා එක්සත් ජනතා නිදහස් සන්ධානයට ඡන්දය දීමෙන් පලක් නැතිය යන අදහස ජනතාව අතරට ගෙන යෑමට ජ.වි.පෙ. උත්සාහ දරණ බව පෙනෙන්නට තිබේ.

බංකොලොත් දේශපාලන පක්‍ෂ මේ ගෙන යන සාවද්‍ය ප‍්‍රචාර ගැන ජනතාව අවදියෙන් සිටිය යුතුය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා කොටි සංවිධානය සහමුලින්ම පරාජය කළ නායකයාය. කොටින්ට මුදල් හා ආයුධ ලබා දුන්නේ රණසිංහ පේ‍්‍රමදාස ජනාධිපතිතුමා බව මුලින්ම මතක් කර දිය යුතුය.

තවද කිසිදු ජනාධිපති කොමිසමක් විසින් මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රජා අයිතිය අහෝසි කළ යුතු යැයි නිර්දේශ කොට නැත. මොනම ජනාධිපති කොමිසමකටවත් කිසිවෙකුගේ ප‍්‍රජා අයිතිය අහෝසි කිරීමටද නොහැක.

එවැන්නක් කළ හැක්කේ ජනාධිපති කොමිසමක් විසින් කරන නිරිදේශය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් සම්මත වුවහොත් පමණි. ඊළඟ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලයක් ලැබුනොත් ලැබෙන්නේ එ.ජ.නි.ස.යට මිස එ.ජා.ප.-ජ.වි.පෙ. හවුලට නොවේ.

ශිරන්ති රාජපක්‍ෂ මැතිණිය සිරිලිය සවිය සංවිධානයේ අරමුදල් වලින් මිලියන 35 ක් වැය කොට කොළඹ 05 ප‍්‍රදේශයේ නිවසක් මිලදී ගත් බවද ජ.වි.පෙ. නායකයා කියා සිටියේය. මීට කලින්ද ජ.වි.පෙ. මෙවැනි චෝදනාවක් මතු කල අතර අප ඒ අවස්ථාවේ නිකුත් කළ මාධ්‍ය නිවේදනයකින් පෙන්වා දුන්නේ ශිරන්ති රාජපක්‍ෂ මැතිනිය කොළඹ 05 මෙකී දේපළ මිලදී ගත්තේ ණයකින් බවත් මෙකී ණය මහින්ද රාජපක්‍ෂ මහතාගේ නිල වත්කම් හා බැරකම් ප‍්‍රකාශණයේ ද සඳහන් වන බවත්ය.

සිරිලිය සවිය සංවිධානයේ කිසිදු මුදලක් මේ සඳහා භාවිතා කර නොමැත. අනෙක් සෑම පවුලක මෙන්ම රාජපක්‍ෂ පවුලටද වත්කම් මෙන්ම බැරකම් ද ඇත.

ජ.වි.පෙ. නායකයා විසින් කළ තවත් චෝදනාවක් වූයේ සී.එස්.එන්. නාලිකාව විසින් රජයට අයත් සම්පේ‍්‍රෂණ කුලූණු භාවිතා කොට ඇති බවයි. සී.එස්.එන් නාලිකාවට අයත් සම්පේ‍්‍රෂණ කුලූණු 07 ක් ඇති අතර වෙනත් ආයතන වල කුලූණු භාවිතා කිරීමට අවශ්‍යතාවයක් නැත. තවද එක ආයතනයකට අයත් කුලූණු හරහා වෙනත් ආයතනයක විකාශයක් එක්වර සිදු කිරීම තාක්ෂණිකව සිදුකළ නොහැක්කකි. එවැනි අතේ පැලවෙන බොරු දේශපාලන නායකයන් යැයි කියා ගන්නා පුද්ගලයින් විසින් සිදුකරන්නේ මේ මැතිවරණයත් බොරුවෙන්ම දිනාගන්නා අපේක්‍ෂාවෙන් බව පැහැදිලිය.

මේ අවලාද නගන්නේ මෙරටේ තරුණ තරුණියන් 70,000 ක ගේ පමණ මරණ වලට වගකිවයුතු රුපියල් මිලියන 20,000 ක පමණ දේපළ හානියක් රටට සිදුකළ සංවිධානයක නායකයින් බවද ජනතාව සැලකිල්ලට ගත යුතුය. “

210715_MR_Press

--------------------------------------------------------------------------------------------------------------------------

* ඔබගේ ප්‍රතිචාරය අද ලක්දෙරණ වෙබ් අඩවියේ පළ කරනුයේ පහත සඳහන් කොන්දේසි මතය.
පුද්ගලයෙකු හෝ පුද්ගලයින්ට නිග්‍රහ නොකිරීම, අපහස නොකිරීම, අසභ්‍ය සහ පරුස වචන භාවිතා නොකිරීම, ප්‍රතිචාර සඳහා ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ නම් නිර්නාමික ලෙස භාවිතා නොකිරීම, ඉතා දීර්ඝ ප්‍රතිචාර නොදැක්වීම, අදාල පුවතට සම්බන්ධතාවයක් නැති ප්‍රතිචාර දැක්වීම, වෙනත් වෙබ් අඩවි වල පලවූ ප්‍රතිචාර සහ වෙනත් වෙබ් අඩවි ප්‍රචලිත කිරීමේ අරමුණින් කරන්නා වූ ප්‍රතිචාර යන ආදී කරුනු ඇතුලත් ප්‍රතිචාර අද ලක්දෙරණ වෙබ් අඩවියේ පළ නොකරන බව කරුණාවෙන් සැලකිල්ලට ගනු මැනවි.
සියලු පුවත් සඳාහා දක්වා ඇති පාඨක ප්‍රතිචාර "අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස" යටතේ ඔවුන්ගේම අදහස් විය යුතු අතර අද ලක්දෙරණ වෙබ් අඩවිය එම ප්‍රතිචාර සඳහා වග නොකියන බව මෙලෙස ඔබ සැමට අවධාරණය කරමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top