ගරු ජනාධිපතිතුමනි, නව පරපුර තුළින් අමරදේවලා, නන්දා මාලනීලා, වික්ටර්ලා බිහිනොවන හේතුව මෙන්න

ගරු ජනාධිපතිතුමනි, ශිෂ්ට සම්පන්න නව දේශපාලන සංස්කෘතියක් වෙනුවෙන් ඉතා තීරණාත්මක මොහොතක පෙරමුණ ගත් ඔබතුමන් වෙත මෙරට විද්‍යුත් මාධ්‍ය ක්‍ෂේත්‍රයේ ඇතිවී තිබෙන දරුණු ඛිෙදවාචකය කෙරෙහි ඔබගේ අවධානය යොමු කිරීමටත්, ඊට පෞද්ගලිකවම ඔබගේ මැදිහත්වීම ලබා ගැනීමත් වෙනුවෙනි. ඔබ මැදිහත් නොවෙතොත් අප අපේක්ෂා කරන වෙනස සිදුනොවන බව ඒකාන්තය.

ඔබ ඉතා හොඳ රසිකයකු බව මම දනිමි. ඉතා උසස් චින්තනයක් වින්දනයක් ඇති පරපුරක් නිර්මාණය කිරීමෙහිලා එදා ගුවන් විදුලිය තනිව සිදුකළ දැවැන්ත මෙහෙවර ඔබට අමුතුවෙන් කිව යුතු නැත. ඔබ පසුගිය දිනක ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් බැහැදැක දුක සැප විමසන මොහොතේ ඔබට ලිවිය යුතු යැයි කල්පනා කළෙමි.

එයට පෙර ඔබතුමන් විශාරද ගුණදාස කපුගේ කලාකරුවාගේ 70 වන ජන්ම දින සැමරුමටද ප්‍රමුඛ ආරාධිතයා ලෙස පැමිණ සිටිනු දුටුවෙමි. ඉදින් මේ අවනඩුව ඔබට හැර කාට කියම්ද?

අතිගරු ජනාධිපතිතුමනි, පූර්වෝක්ත ‍‍‍ජ්‍යෙෂ්ඨ කලාකරුවන් ඔවුන්ගේ නිර්මාණාත්මක ශ්‍රමයෙන් සරු සාරවත් කළ සංගීත ක්‍ෂේත්‍රය අද දරුණු ලෙස වල් බිහිවී ඇති බව ඔබ නොදන්නවා ඇත. කුඩා අප අලුයම අවදි වූයේ සුපසන් අර්ථ රසයෙන් හා මිහිරෙන් පිරී ගිය ගුවන් විදුලි ගීත සමගය. කුඩා දරුවකු තුළ රට ජාතිය පිළිබඳව අභිමානයත්, ආදරයත් ඇතිවන ගීතවලින් ඇරඹී එම ගුවන් විදුලි විකාශය ඉතා විද්‍යාත්මක පදනමක් මත විකාශනය වන රසවත් හා හරවත් වැඩසටහන්වලින් පිරී පැවතුණි. ඒ තුළ ඉතා දියුණු ශ්‍රාවකයකු හා සංවේදිතාවක් සහිත සහෘදයකු බිහිකෙරෙන විසල් අවකාශයක් විය. ඔබද ඒ ඉතිහාසයට අයිති රසිකයෙකි. එහෙත් අද දවස තුළ ඔබ මෙරට ගුවන් විදුලි හා රූපවාහිනී නාලිකා හැසිරෙන නග්න ස්වරූපය පිළිබඳ සොයා බැලුවහොත් බලවත් සේ කම්පා වන බව මට විශ්වාසය. බොහොමයක් ගුවන් විදුලි නාලිකා මෙරට ශ්‍රාවක මනසේ අසහනය හා පිළිකුල ඇති කරන බොල් සංගීතයෙන් වා තලය ගිගුම් දෙමින් තිබේ. වාචාල දොඩන නිවේදකයන් හා අ¼ෙදා්නා, යාදිනි, අවලාද සහිත ගීත මගින් මෙරට ශ්‍රාවකයනට සිදුවන අතවරය සුළුපටු නැත. විද්‍යුත් මාධ්‍ය ක්‍ෂේත්‍රය වසා පැතිර ඇති මෙම දුර්භාග්‍යය වසංගතයක් සේ වැඩී වර්ධනය වෙමින් තිබේ.

අතිබහුතරයක් වූ විද්‍යුත් මාධ්‍ය නාලිකාවන්ට ප්‍රමිතියක් නැත. ශ්‍රාවකයාගේ හෝ ප්‍රේක්ෂකයාගේ උසස් රසවින්දනය පිළිබඳව කිසිදු වගකීමක් නැත. තම තම පුද්ගලික න්‍යාය පත්‍ර ඔස්සේ හැල්මේ දුවන මෙම විද්‍යුත් නාලිකා මෙරට ශ්‍රාවක ප්‍රේක්ෂක ජන මනසට සිදුකරන අතවරය සුළුපටු නොවේ. ඔවුන්ගේ ඒකායන අරමුණ ලාභ ඉපැයීම පමණි. ඒ උදෙසා මෙරට ශ්‍රාවක ප්‍රේක්ෂක වින්දනය අනතුරට පත්කොට තිබේ. මේ පිළිබඳව සොයා බලන යාන්ත්‍රණයක් රට තුළ නැත.

අතිගරු ජනාධිපතිතුමනි, ගීතයක් ප්‍රචාරය කරන්නට අද ඇතැම් මාධ්‍ය ආයතන නිර්මාණකරුවන්ගෙන් මුදල් අයකරන බව ඔබ දන්නවාදැයි මම නොදනිමි. වෙහෙස මහන්සිවී කරන නිර්මාණය ශ්‍රාවකයන් වෙත ගෙන යන්නට නම් එම මාධ්‍ය ආයතනයට අල්ලස දිය යුතුය. ඒවායේ ඇත්තේ ‘පැකේජ්’ ක්‍රමයකි. ඒවාට අනුගත නොවන ගායකයන්ගේ අලුත් ගීත ප්‍රචාරය නොකෙරේ. කොතරම් අපූර්ව නිර්මාණයක් වුවද මෙම ඉරණමට මුහුණදිය යුතුය. මුදල් ගෙවන්නේ නම් කොතරම් ශ්‍රැති භංග, අරුත් සුන් ගීතයක් වුවද එක රැයකින් ශ්‍රාවකයාට ඉදිරිපත් කෙරේ. අද නව පරපුර තුළ අමරදේවලා, වික්ටර්ලා, නන්දා මාලනිලා, කපුගේලා බිහි නොවන්නේ මෙම අශිෂ්ට මාධ්‍ය ක්‍රියාන්විතය නිසාය. අති දක්ෂ තරුණ නිර්මාණකරුවෝ රාශියක් තම ගීත මාධ්‍ය මගින් ප්‍රචාර කරවාගත නොහැකිව උකටලීව සිටිති. එහෙත් හරසුන් ගීත ගයන නව පරපුරක් මෙම නාලිකා වටා ඒකරාශී වී ශ්‍රාවකයාට, ප්‍රේක්ෂකයාට වද බන්ධන පමුණුවති. සැබෑ ප්‍රතිභාවන්තයන් මේ සිදුවන අභාග්‍ය සම්පන්න මාධ්‍ය මාෆියාව හමුවේ සසලව බලා සිටිති. කියන්නට කෙනකු නැත. ඔවුනට ඇහුම්කම් දෙන්නට කෙනකු නැත.

ගරු ජනාධිපතිතුමනි, දිනෙන් දින බරපතළ ආධ්‍යාත්මික ගරා වැටීමකට ලක්වන මෙරට සමාජයට වටිනාකම් අගැයෙන මිනිසුන් නිර්මාණය කළ යුතුව තිබේ. ඒ කාර්යයෙහිලා සුභාවිත කලාවට පැවරෙන වගකීම ඔබට අමුතුවෙන් කිව යුතු නැතැයි සිතමි. එහෙත් ව්‍යාපාරික මානසිකත්වයෙන් මෙරට ශ්‍රාවකයා හා ප්‍රේක්ෂකයා දෙස බලන මාධ්‍ය ආයතන මගින් ඔවුනට සිදුවන්නේ දරුණු අතවරයකි. යුද්ධයෙන් විනාශ වූ දේපළ යළි ලබාගත හැකිය. එහෙත් ආධ්‍යාත්මිකව ගරා වැටුණ, රසවින්දනය හා චින්තනය ඇදවැටුණ මිනිසුන් යළි නගාසිටුවීම පහසු නැත. එබැවින් මෙරට විද්‍යුත් ජනමාධ්‍ය කරමින් සිටින බලවත් විනාශය පිළිබඳව ගැඹුරින් කල්පනා කළ යුතුව තිබේ.
ප්‍රේමකීර්ති ද අල්විස්, එව්.එම්. ගුණසේකර, සමන් අතාවුදහෙට්ටි, පාලිත පෙරේරා, කරුණාරත්න අමරසිංහ, බුද්ධදාස විතානාරච්චි, ලූෂන් බුලත්සිංහල, කුසුම් පීරිස් වැනි පිරිපුන් සන්නිවේදකයන් ඇසුරෙහි ‍පෝෂණය වූ මෙරට ගුවන් විදුලි හා රූපවාහිනී මාධ්‍ය අද වාචාල දොඩන, සාහිත්‍ය රසය හා සංගීත රසය නොහඳුනන පිරිසක් අතට පත්ව තිබිම දැවැන්ත ඛිෙදවාචකයකි. සන්නිවේදකයා සමාජයට පෙරමග එළිය සපයන ප්‍රමුඛ පුරවැසියෙකි. ඔහු වින්දනයෙන් හා චින්තනයෙන් දියුණු වූද බහුශ්‍රැත ඥානයකින් පිරිපුන් පුද්ගලයකුද විය යුතුය. ශ්‍රාවක ප්‍රේක්ෂක ජනයා නව දැනුමෙන් හා වින්දනයෙන් ‍පොහොසත් වනුයේ එවන් පිරිසකගේ දායකත්වයෙනි. එහෙත් අද වැඩිම වේගයෙන් වාචාල දොඩන්නන් වැඩිම ඉල්ලුමක් ඇති සන්නිවේදකයෝය. මෙය කවර නම් අභාග්‍යක්ද? අද මෙම ඛිෙදවාචකය රාජ්‍ය මාධ්‍යද ආක්‍රමණය කොට තිබිම බලවත් ජාතික අභාග්‍යයකි.

අතිගරු ජනාධිපතිතුමනි, ජාතික රූපවාහිනිය යනු ඉතා ඉහළ ගණයේ සංගීත වැඩසටහන්වලින් පිරිපුන්ව පැවැති ආයතනයකි. නන්දන වින්දන, මනෝහාරි, අනන්ද රාත්‍රී වසන්තයේ මියුරුසර ගී, නඳුන් උයන ඉන් කිහිපයකි. එහෙත් අද එවැනි සංගීත වැඩසටහන් සඳහා ඇත්තේ ඉතාම අඩු ඉඩකි. හොඳ නිර්මාණ කරන නව පරපුරේ නිර්මාණ ප්‍රේක්ෂකයන්අතරට ගෙන යන එකදු වැඩසටහනක් හෝ නැත. ගීත රූප රචනා වීම මුළුමනින්ම නවතා දමා තිබේ.

රවි සිරිවර්ධන

--------------------------------------------------------------------------------------------------------------------------

* ඔබගේ ප්‍රතිචාරය අද ලක්දෙරණ වෙබ් අඩවියේ පළ කරනුයේ පහත සඳහන් කොන්දේසි මතය.
පුද්ගලයෙකු හෝ පුද්ගලයින්ට නිග්‍රහ නොකිරීම, අපහස නොකිරීම, අසභ්‍ය සහ පරුස වචන භාවිතා නොකිරීම, ප්‍රතිචාර සඳහා ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ නම් නිර්නාමික ලෙස භාවිතා නොකිරීම, ඉතා දීර්ඝ ප්‍රතිචාර නොදැක්වීම, අදාල පුවතට සම්බන්ධතාවයක් නැති ප්‍රතිචාර දැක්වීම, වෙනත් වෙබ් අඩවි වල පලවූ ප්‍රතිචාර සහ වෙනත් වෙබ් අඩවි ප්‍රචලිත කිරීමේ අරමුණින් කරන්නා වූ ප්‍රතිචාර යන ආදී කරුනු ඇතුලත් ප්‍රතිචාර අද ලක්දෙරණ වෙබ් අඩවියේ පළ නොකරන බව කරුණාවෙන් සැලකිල්ලට ගනු මැනවි.
සියලු පුවත් සඳාහා දක්වා ඇති පාඨක ප්‍රතිචාර "අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස" යටතේ ඔවුන්ගේම අදහස් විය යුතු අතර අද ලක්දෙරණ වෙබ් අඩවිය එම ප්‍රතිචාර සඳහා වග නොකියන බව මෙලෙස ඔබ සැමට අවධාරණය කරමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top