ගම්මන්පිල 8 වැනිදා කළු සිකුරාදාවක් ලෙස නම් කරයි

අද (4) පැවත්වූ මාධ්‍ය හමුවට සහභාගී වූ පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් නීතිඥ උදය ගම්මන්පිල
ජාතික සංවිධායක මධු මාධව අරවින්ද, ප්‍රචාරක ලේකම් තුෂාර දිසානායක, ජාත්‍යන්තර කටයුතු පිළිබද ලේකම් සුගීෂ්වර බණ්ඩාර,
පරිපාලන ලේකම් උපුල් කෝනාර, සංවිධායක ලේකම් උපුල් විජේසේකර, යන සියළු දෙනා කළු පැහැති ඇඳුමින් සහභාගී වී පැමිණි අතර ඔවුන් කියා සිටියේ ජනවාරි 08 එළබෙන කළු සිකුරාදා සංකේතවත් කිරීමට මෙසේ සිදු කල බවයි. එහිදී උදය ගම්මන්පිල මහතා මෙසේද පැවසිය.

“අද අපි සුපුරුදු සුදු ඇඳුම වෙනුවට කළු ඇඳුමෙන් මේ මාධ්‍ය හමුවට ආවේ ජාතියේ අඳුරුතම යුගය ආරම්භවී වසරක් පිරෙනවා කියන පණිවිඩය ජාතියට ලබාදෙන්නයි. අපි පසුගිය වසර දෙස හැරිල බලද්දි ජනපති තුමන් දිවුරුම්දීල පලවෙනි විනාඩි දෙක තුලම ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝණය කලා. මේ ලෝක ඉතිහාසයේ කිසිම රාජ්‍ය නායකයෙක් දිව්රුම් දීල පලමු විනාඩි දෙක ඇතුලත ව්‍යවස්ථාව උල්ලංඝණය කරල අපිට වාර්ථා වෙලා නෑ. ඒ ගිනස් වාර්ථාවේ හිමි කරුවා අපේ ජනපතිතුමනුයි”.

“එතුමන් ව්‍යවස්ථා විරෝධී අන්දමට රටේ අගමැතිවරයා සිටියදී අගමැති ධූරයේ පුරප්පාඩුවක් නොතිබියදී අගමැති ධූරය සදහා රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ව පත්කලා. ඒ වගේම ව්‍යවස්ථා විරෝධීව අගවිනිසුරුවරයා ඉවත්කළා. ඒ වගේම හිට්ලර්ගේ ගෙස්ටාපෝ වැනි පොලිස් ඒකකයක් පිහිටුවලා දේශපාළන විරුද්ධවාදීන් මර්දනය පටන් ගත්තා”.

“දකුණු ආසියාවේ දැවැන්තම වංචාව වන මහ බැංකු බැදුම්කර වංචාව සිදුවුනෙත් මේ ආණ්ඩුව යටතේ. මහ බැංකුවේ වංචාවක් සිදුවුණු බවට ජනපතිතුමන් රාජිත සේනාරත්න මැතිතුමන් පා.ච. රණවක මැතිතුමන් පිළිඅරගෙන තිබෙනවා. එහි ප්‍රතිථලයක් විදිහට කොටස් වෙළද පොල පහුගිය වසරේ 5.5% කඩා වැටිල තියෙනව. ඇමරිකානු ඩොලරයක වටිනාකම රුපියල් 133 සිට 146 දක්වා වැඩිවෙලා රුපියල බාල්දුවෙලා තියෙනවා”.

“මේ ආණ්ඩුව බලයට පත්කිරීමට කටයුතු කල බටහිර බලවතුන්ගේ ආයතනයක් වන ජ්‍යාත්‍යන්තර මූල්‍ය අරමුදල කියනවා 7% බලාපොරොත්තු වුන ආර්ථීක වර්ධනය 5% දක්වා ඇද වැටී තියෙනවා කියල.

අනිත් පැත්තෙන් නීතියේ ආදිපත්‍යය බිද වැටිල තියෙනවා. ජනාධිපතිවරයා ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝනය කරද්දි අද මන්ත්‍රීවරුන් නීතිය අතට අරගෙන තියෙනවා. නීතියට ගරුකිරීම ක්‍රමයෙන් සමාජයෙන් ඉවත්වයාම නිසා පසුගිය වර්ෂයේ 2014ට සාපේක්ෂව රිය අනතුරු පමනක් 30% කින් වැඩිවෙලා තියෙනවා. මිනීමැරුම් වැඩිවෙලා තියෙනව. ලස්සනට තිබුනු කොළඹ නගරය අපායක් බවට පත්වෙලා තියෙනවා. පාතලය යලි හිස ඔසවමින් තියෙනවා. මේ සියල්ල එකට කැටිවී අපිට කියන්නේ අප අද ජීවත්වන්නේ නිදහස් ශ්‍රී ලංකිවේ අදුරුතම යුගයේ කියායි”.

“මේ බව සංකේතවත් කරමින් අපි ජනවාරි 08 වෙනි සිකුරාදා කළු සිකුරාදා (Black Friday) ලෙස නම් කර තිබෙනවා. අපි එදිනය කළු කොඩි එසවීමේ වැඩසටහනට අවශ්‍ය රැල්ල හදාගැනීම සදහා අපි ජනවාරි 2වෙනිදා ඉදන් කළු කොඩි එසවීමේ ව්‍යාපාරයක් පටන් ගත්තා. යහපාලනය ආණ්ඩුවේ ඇමතිවරියක වන තලතා අතුකෝරල මහත්මිය කියනවා අපේ ජනපතිතුමන් පත්වූ දිනයේ කළු කොඩි ඔසවන්න අපි කාටවත් ඉඩ දෙන්නේ නෑ කියල. ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා කියනවා කළු කොඩි එසෙව්වොත් ඊට දැඩි ප්‍රථික්‍රියාවක් දක්වනවා කියලා. තර්ජනයෙන් ගර්ජනයෙන් විපක්ෂය යටපත්කිරීමට දක්වන මේ උත්සාහය යහපාළනයද කියා අපිට අහන්න වෙනවා. අපි මේ මර්ධනය බලාපොරොත්තු වුනා. ඒ නිසා අපි ජනතාවට කිව්වා ඔබට කළු කොඩි එසවීමට බියක් දැනෙනවානම් ඔබේ මුහුණු පොතේ හැදුනුම් පින්තූරය කළු කොඩියක් බවට පත්කර මේ සටනට දායක වෙන ලෙසට”.

“මේ වන විට මුහුණු පොත සිසාරා කළු කොඩි එසවෙමින් තියෙනවා. ඒ හරහා මේ ආණ්ඩුව කෙරෙහි විශේෂයෙන්ම මේ ආණ්ඩුවට එරෙහිව ඡන්දය දුන් ජනතාවගේ කළ කිරීම කේන්තිය අපිට මුහුණු පොත පුරා අපිට දකින්න පුළුවන්”.

“ඒ වගේම ලක්ෂ්මන් කිරිඇල්ල සභානායකතුමන් කියනවා කළු කොඩි එසවීමට ප්‍රතිචාරය ලෙස ජනපති පදවි ප්‍රාප්තිය සමරා මැතිවරණ ජය සමරා ජාතික කොඩිය ඔසවන්න කියලා. ගරු සභානායකතුමනි ඔබතුමා විසින් ඔය සමච්චලයට ලක්කරන්නේ ඔබතුමාගේ තනතුරයි. රාජ්‍ය පරිපාලන චක්‍රෙල්කයක් තියෙනවා ජාතික කොඩිය භාවිතා කල යුත්තේ ජාතික උත්සව අවස්ථාවක පමණයි කියලා. ඒ කියන්නේ නිදහස් දිනය, රණවිරු දිනය වැනි දිනයන්. මේ රටේ 52 % ජය ගත්ත 48 පරාජය වුනු දිනය ජාතික උත්සවයක් නෙවෙයි. එය හංස සංධානයේ මැතිවරණ ජයග්‍රහණයක් විතරයි” යයි ගම්මන්පිල මහතා අවසාන වශයෙන් පැවසිය.

--------------------------------------------------------------------------------------------------------------------------

* ඔබගේ ප්‍රතිචාරය අද ලක්දෙරණ වෙබ් අඩවියේ පළ කරනුයේ පහත සඳහන් කොන්දේසි මතය.
පුද්ගලයෙකු හෝ පුද්ගලයින්ට නිග්‍රහ නොකිරීම, අපහස නොකිරීම, අසභ්‍ය සහ පරුස වචන භාවිතා නොකිරීම, ප්‍රතිචාර සඳහා ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ නම් නිර්නාමික ලෙස භාවිතා නොකිරීම, ඉතා දීර්ඝ ප්‍රතිචාර නොදැක්වීම, අදාල පුවතට සම්බන්ධතාවයක් නැති ප්‍රතිචාර දැක්වීම, වෙනත් වෙබ් අඩවි වල පලවූ ප්‍රතිචාර සහ වෙනත් වෙබ් අඩවි ප්‍රචලිත කිරීමේ අරමුණින් කරන්නා වූ ප්‍රතිචාර යන ආදී කරුනු ඇතුලත් ප්‍රතිචාර අද ලක්දෙරණ වෙබ් අඩවියේ පළ නොකරන බව කරුණාවෙන් සැලකිල්ලට ගනු මැනවි.
සියලු පුවත් සඳාහා දක්වා ඇති පාඨක ප්‍රතිචාර "අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස" යටතේ ඔවුන්ගේම අදහස් විය යුතු අතර අද ලක්දෙරණ වෙබ් අඩවිය එම ප්‍රතිචාර සඳහා වග නොකියන බව මෙලෙස ඔබ සැමට අවධාරණය කරමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top