ගත වියපත් නද මන්මත් – ඩබ්ලියු. ඩී. අමරදේව

ශ‍්‍රී ලාංකීය හෙළ සංගීතය දශක කිහිපයක් තිස්සේ පෝෂණය කරමින් ඒ ස්වරයෙන්ම ජාත්‍යන්තරය කරා ගෙන ගිය හෙළයේ මහා ඝන්ධර්වයා ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්.ඞී. අමරදේවයන්ගේ 88වන ජන්ම දිනය අදට යෙදී ඇත.
විවිධ ජාත්‍යන්තර සහ දේශීය ඇගයීම් ගණනාවකින් පිදුම් ලබා ඇති පණ්ඩිත් අමරදේවයන් ගේ උපන් දිනයට අද ලක්දෙරණ වෙබ් අඩවිය නිරෝගිමත්ව සහ තව තව නිර්මානශීලිව කටයුතු කරමින් දිගු කලක් වැජඹේවා යයි සුභ පතමු.

Amaradeva88

“මියුරු සර බඳ – නාද රළ කඳ
නැගී බිඳෙමින් – බිඳී නැගෙමින්
විසුරුවන මුදු – සුසර දිය රැළි
අඳියි සුමියරු – නාද සිත්තම්
බඳියි පියකරු – ගීත මල්කම්
නන් රුවින් සැදි – හැඩතලින්’’

 

සංගීතයේ ආකෘතිය පිළිබඳ තමාගේ විවරණය මෙසේ සුමියුරු වදන් වැලක් ලෙස පබැඳියේ ලාංකීය සංගීත ක්‍ෂේත්‍රයේ අමරණීය සංඛේතය වූ අප මහා ගාන්ධර්වයාණන් වන ඩබ්ලියු. ඩී. අමරදේව යි. මේ මහා සංගීත වේදියා අද දින (දෙසැම්බර් 05) සිය ජිවන ගමන් මඟේ 88 වන සැතපුම් කණුව වෙත ළඟා විය. ඔහුගේ දිවි මඟ හෙළි පෙහෙළි වූයේ කෙසේ ද යන්න සහ ඔහු අප වෙත දායාද කළ නිර්මාණ පිළිබඳ ඇගයීමක් මෙසේ සටහන් තබන්නෙමු.

මොරටුව කොරලවැල්ලේ විසු වඩු කාර්මිකයකු වූ දොන් ජිනෝරිස් පෙරේරාට දාව බාලපු වඩුගේ වෙස්ලියානා මැන්දිස්ගේ කුසින් 1927 දෙසැම්බර් පස්වන දින මෙලොව එළිය දුටු බිළිඳා නම් කරනු ලැබූයේ වන්නකුවත්ත වඩුගේ දොන් ඇල්බට් පෙරේරා යනුවෙනි.

මොරටුව ප්‍රදේශය වඩු කර්මාන්තයට මෙන් ම ගායන ශිල්පයට දක්ෂතාවන් දැක්වූ පුද්ගලයන් රැසක් ජන්ම ලාබය ලැබූ පෙදෙසකි. දක්ෂ වඩු කාර්මිකයකු වු තම පියා ද සංගීතයට ඇල්මක් දැක්වීම ඇල්බට්ගේ ජන්මාන්තර වාසනා මහිමය වඩාත් ඔපවත් කරගැනීම සඳහා සැපයු ආලෝකයක් වැන්න. අවට වෙසෙන සියලු සංගීත ශිල්පීන් තම තමන්ගේ සංගීත භාණ්ඩ අලුත්වැඩියා කර ගැනීම සඳහා රැගෙන ආවේ ද ඇල්බට්ගේ නිවස වෙත ය. කුඩා ඇල්බට් ට දිනපතා නෙත ගැටුණේ තම නිවසේ පසෙක පිහිටි වඩු මඩුවේ තැන තැන ගොඩගසා තිබූ සංගීත භාණ්ඩ ය. සංගීතය පිළිබඳ කිසිවක් නොදත් ඇල්බට් අලුත්වැඩියාව සඳහා අසල්වැසියන් රැගෙනවිත් තිබූ වයලීන, සර්පිනා, ඩොලැක්ක ආදිය නිරතුරුව ම අත-පත ගාන්නට විය. මෙය සිය පියාගේ ද දඩි අවධානයට යොමු වී ඇති බව හෙතෙම නොදැන සිටියේ ය. එහෙත් අල්බට්ට ද නොදන්වා ඔහුගේ 07 වන ජන්ම දිනයේ දී හෙතෙම සිය පියාගෙන් ලද තාග්‍යය වූයේ ජපානයේ නිෂ්පාදිත අගනා වයලිනයකි

තමන් මූලික අධ්‍යාපනය ලැබූ මොරටුව ශ්‍රී සද්ධර්මෝදය විද්‍යාලය කලයේ දී එහි පැවති සංගීත පන්තියකට සහභාගි වීමට ළමා ඇල්බට්ට අවකාශ හිමි විය. පාසලේ පැවති: වයලින වාදනය, ගීත, ගායනය, කවි ගායනය සහ ගාථා කියැවීමේ තරඟ සඳහා ඉදිරිපත්වන කිසිවකු ඇල්බට් සිසුවා පසු කර යාමට සමත් නොවී ය. විදුහලේ විදහල්පතිව සිටි කු. ජෝ. පෙරේරා මහතා ද මෙම කුඩා සිසුවාගේ දක්ෂතා මැනවින් හඳුනාගෙන තිබිණ. මේ සියල්ලෙහි ප්‍රතිඵලයක් ලෙස ඇල්බට් සිසුවා ශිෂ්‍යත්වයක් ලබා වැඩිදුර අධ්‍යාපනය සඳහා පානදුර සුමංගල විද්‍යාලය වෙත පියනැඟී ය. මෙහෙ දී අපූරු දෛවෝපගත සිදුවීමක් ද සිදුවිය. ඇල්බට් සිසුවා පිළිගැනීම සඳහා සුමංගල විද්‍යාලයේ පැවති උත්සවයේ දී ඔහුට මල්මාලාවක් පළඳවා පිළිගනු ලැබූයේ එවකට එම පාසලේ ම සිසුවියක වූ විමලා ගුණරත්න නමැතිශිෂ්‍යාවය. ඇය අන් කිසිවකු නොව අද මේ මහා ගාන්ධර්වයාගේ සෙවණැල්ල මෙන් ඔහු පසුපස සිටිනා ඔහුගේ දයාබර බිරිඳ වන විමලා අමරදේව මැතිණිය යි. ඔවුන් දෙපළ පළමු වරට නෙත ගැටුණේ මෙම පිළිගැනීමේ උත්සවයේ දී ය.

සුමංගල විද්‍යාලයේ වසර තුනක අධ්‍යාපනයෙන් ඉක්බිතිව කළුතර, කළුතර විද්‍යාලයට ඇතුළත් විම ඔහු සිය සංගීත දිවියේ ලද තවත් ජයග්‍රහණයකි. මෙම පාසල් කාලය තුළ අධ්‍යාපනයේ නියැළෙන කාලසීමාවේ දී ම ලක්දිව සුපතල මහා ඇදුරිඳු මුනිදාස කුමාරතුංගගේ ඇසුර ලබන්නට තරම් ඇල්බට් සිසුවා වාසනාවන්ත විය. මේ වාසනා මහිමය පාදාදෙන්නට මූලික වු පළමු වැන්නා නම් ගමේ පාසලේ මුල් ගුරුතුමා වූ කු. ජෝ. පෙරේරා මහතා ය. කුමාරතුංග මහතාගේ ඇසුර තමන්ගේ භාෂා ඥානය මුවහත් කරගැනීම සඳහා ඉමහත් පිටුවහලක් වු බව මේ මහා ගාන්ධර්වයා අදත් සිහිපත් කරන්නේ ඉතාමත් ගෞරව පූර්වක ලෙසිනි.

තම පියා මෙන්ම මව ද සංගීතය කෙරෙහි දැක්වූයේ අපරමිත ලැදියාවකි. ඇය ගමේ මෙතොදිස්ත පල්ලියේ කිතු බැති ගී ගයන්නියක වූවා ය. ඇය කිතු බැති ගී ගයද්දී තම පියා පන්සලේ දොරකඩ අස්න ගායනයටත් නත්තල් දා ගමේ පැවැත්වෙන කැරොල් ගි ගායනයටත් සහභාගී වීමෙන් ගම්යනවන්නේ අමරදේව නමැති සගීතඥයාට ගුරු ඇසුරු නොමඳව ලබන්නට වාසනා මහිමය පැවති බව ය.

පාසල් අධ්‍යාපනය අවසන් කිරීමෙන් අනතුරු ව තව දුරටත් සංගීතය හැදෑරීම සඳහා සංගීතාචාර්ය මොහොමඩ් ගවුස් මහතා වෙත යොමුවන්නේ ඩබ්ලියු. ජේ. ප්‍රනාන්දු සහ කු. ජෝ. පෙරේරා යන ගුරු භවතුන් සහ තම වැඩිමහල් සොයුරු ඩබ්ලියු. ඩී. චාර්ලිස් පෙරේරාගේ නොමඳ අනුග්‍රහය සහ ආශිර්වාදයෙනි. තමන් වෙත පැමිණි තරුණ ඇල්බට් සංගීත ශිල්පියාගේ දක්ෂතාවන් හඳුනාගත් ගවුස් මාස්ටර් ඒ වන විට සිංහල සිනමාවේ දෙවන කතානාද චිත්‍රපටය වන ‘‘අශෝකමාලා’’ චිත්‍රපටය සඳහා සංගීතය සපමින් සිටියේ ය. එම චිත්‍රපටයේ සංගීතය සඳහා වයලීන වාදකයෙක් ලෙස සහභාගී වූ ඇල්බට් තරුණයා ඉන් වසරකට පසු එම චිතුපටය නැරඹීමේ දී එහි නාමාවලියේ ‘‘සහය සංගීත අධ්‍යක්ෂණය ඩබ්ලියු. ඩී. ඇල්බට් පෙරේරා’’ යනුවෙන් තිබෙනු දැකීමෙන් ඇති වූ චිත්තප්‍රීතිය විග්‍රහ කිරීම සඳහා අවැසි වදන් මෙතෙක් තමන්ගේ ශබ්ද කෝෂය තුළ අන්තර්ගතව නොමැති බව ඔහු පවසන්නේ නිහතමානී ආඩම්බරයක් ද පෙරදැරි කොට ගෙන ය.

කෙමෙන් කෙමෙන් ඔහු: චිත්‍රසේන, ආනන්ද සමරකෝන්, සුනිල් ශාන්ත යන කලාකරුවන් මෙන් ම කලා ගුරු පණිභාරත, අල්ගම කිරිගණිත, රංගම ගුණමලා, තිත්තවෙල උක්කුවා සහ ගල්පොත්තේපොළ සුරඹා යන පාරම්පරික ආාර්යවරුන්ගේ ඇසුර ලබන්නට වාසනා මහිමය අදාකරගත්තේ ය.

සිංහල සන්දේශ කාව්යට මාලාවේ ප්‍රමුඛස්ථානයක් ලැබ සිටි සැළලිහිණි සන්දේශය 1950 දී මුද්‍රා නාට්‍යයක් ලෙස වේදිකා ගතවිය. ප්‍රේමකුමාර එපිටවල නම් වූ සුපතල නර්තන ශිල්පියාගේ නිර්මාණයක් වූ මෙහි කවි සමුද්රිඝෝස විරිතෙන් ගායනා කිරීමේ වරම හිමි වුයේ යෞවන සංගිතවේදී, ගායන ශිල්පී ඩබ්ලියු. ඩී. ඇල්බට් පෙරේරාට ය. මෙම නාට්‍යවය නැරඹීම සඳහා පැමිණ සිටි මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්රස සහ පුවත්පත් කලාවේ දැවැන්තයකු වූ ඩී. බී. ධනපාල මහතා ඇල්බට්ගේ ගායන හැකියාවන් පිළිබඳ ව මහත් උද්දාමයට පත්විය.

ඇල්බට් පෙරේරා නම් වූ මේ දක්ෂ ශිල්පියාගේ කුශලතාවන් මැනවින් වටහා ගත් මහාචාර්ය සරච්චන්ද්රහ ඇල්බට් පෙරේරාට අපූරු යෝජනාවක් කළේ ය. එහි ප්‍රථිපලයක් වශයෙන් එතෙක් වන්නකුවත්ත වඩුගේ දොන් ඇල්බට් පෙරේරා නමින් ප්‍රකටව සිටි අප මහා ගාන්ධර්වයා වන්නකුවත්ත වඩුගේ දොන් අමරදේව නොහොත් ඩබ්ලියු. ඩී. අමරදේව නම් විය. අනතුරුව ඩී. බී. ධනපාල මහතාගේ මූලිකත්වයෙන් ලංකාදීප පුවත්මත මගින් ‘‘අමරදේව ලංකාදීප ශිෂ්‍යත්ව අරමුදල’’ පිහිටවනු ලැබී ය. මෙම ශිෂ්‍යත්ව අරමුදල වර්ධනය වෙමින් පැවති අවධියේ ම එනම් 1952 වසරේ ලක්නව්හි භාත්ඛණ්ඩේ විද්‍යා පීඨාධිපති ශ්‍රී ක්‍රිෂ්ණ නාරායන් රතන්ජන්කර් පඬිතුමා ගුවන් විදුලියේ ආරාධනයකින් මෙරටට පැමිණියේ ගුවන් විදුලියේ ගායන සහ වාදනශිල්පීන් වර්ගිකරණය කරනු පිණිස ය. එවකට අප මහා ගාන්ධර්වයා විශිෂ්ට ගණයේ වයලීන වාදන ශිල්පියෙක් සහ දක්ෂ ගායන ශිල්පියකු ලෙස නමක් දිනා සිටියේ ය. රත්නජංකර් පඬිතුමා විසින් ඩබ්ලියු. ඩී. ඇල්බට් පෙරේරා නමින් ප්‍රකටව සිටි මේ තරුණ ගායන සහ වාදන ශිල්පියා ඉහළ ම ශිල්පියෙක් ලෙස ශ්‍රේණිගතකරන ලදී. මේ හේතුවෙන් ‘‘අමරදේව ලංකාදීප ශිෂ්‍යත්ව අරමුදල’’ ද තව තවත් වර්ධනය විය. එම ශිෂ්‍යත්ව අරමුදලේ එකතුව තිබූ මුදල් යොදවා අමරදේව ඉන්දියාවේ ලක්නව්හි පිහිටි භාත්ඛණ්ඩේ සංගීත පීඨය වෙත පිටත් කොට ඔහුට වැඩිදර සංගීත විෂයය හැදෑරීම සඳහා ඉඩහසර සලසා දුන්නේ ය.

Amaradeva3අමරදේව නිර්මාණය කළ පළමු ගීතය වූයේ ඩ්බ්ලියු. ඒ. සිල්වා සූරීන්ගේ ‘‘සුනේත්‍රා නොහොත් අවිචාර සමය’’ නමැති කෘතිය ඇසුරෙන් නිර්මාණය කළ වේදිකා නාට්‍යයේ ඇතුළත් ‘‘ශාන්ත මේ රෑ යාමේ’’ ගීතය යි. මෙය රචනා කළේ ජෝතිය ධීරසේකර වන අතර සංගීතය සහ තනුව අමරදේවගෙනි. වර්තමානයේ තම වල්ලභයා වන අමදේව කෙරෙහි සිත් බැ‍ඳෙන්නට විමලා ගුණරත්නට බලපෑවේ මෙම ගීතය වීම ද විශේෂත්වයකි. මෙම ගීතය ශ්‍රවණය කිරීමෙන් එතෙක් කිසිඳු ගීයකින් නොලැබූ ආශ්වාදයක් ලද බව ඇය ඉතාමත් නිහතමානීව පවසන්නී ය.

අද 88 වන වියෙහි පසුවුව ද ලාංකේය සංගීත ක්‍ෂේත්‍රයට අමරදේව විසින් ඉටු කරන ලද මෙහෙය සදාකාලික තාරුණ්‍යයේ සලකුණක් වැන්න. ඔහු මේ වන විට දෙස් විදෙස් සම්මාන තිහකට අධික ප්‍රමාණයකට හිමිකම් කියන්නේ ය. ඒ අතුරින් ප්‍රමුඛ ස්ථානයේ ලා සැලකිය හැකි සම්මානයක් වන්නේ ජීවිතයට එක් වතාවක් පමණක් ලැබිය හැකි සම්මානයක් වන ‘‘මැග්සේසි සම්මානය’’ යි. හෙතෙම මෙම සම්මානයෙන් පුදනු ලැබූයේ 2001 වසරේදි ය.
ස්වභාව ධර්මය පිටුදකින්නට හැකි අවස්ථා මිනිසා විසින් සොයාගන්නා ලද වුව ද ඊට එරෙහි වන්නට නොහැකි වූ අවස්ථා ද අනන්තවත් දක්නට ඇත. ඉන් එක් අවස්ථාවක් ලෙස මිනිසාගේ වියපත් විම සැලකිය හැකි ය. එහෙත් එම මිනිසාගේ දක්ෂතාවන් සහ නිර්මාණයන් කෙදිනකවත් මහලු නොවන බව අප මහා ගාන්ධර්වයා ප්රකත්යසක්ෂ කොට හමාර ය. ඉදිරි කාලයේ දි ද තව තවත් උසස් ගණයේ නිර්මාණ ලාංකේ ය සංගීත ක්ෂේත්‍රයට දායාද කර දීමට වාසනා මහිමය ඔහු වෙත ළඟාවේවා යි අප ඉත සිතින් ප්‍රාර්ථනා කරන්නෙමු.

 

විශාරද පණ්ඩිත් අමරදේවයන්ගේ ගීත කීපයක් මෙතනින් අසන්න

--------------------------------------------------------------------------------------------------------------------------

* ඔබගේ ප්‍රතිචාරය අද ලක්දෙරණ වෙබ් අඩවියේ පළ කරනුයේ පහත සඳහන් කොන්දේසි මතය.
පුද්ගලයෙකු හෝ පුද්ගලයින්ට නිග්‍රහ නොකිරීම, අපහස නොකිරීම, අසභ්‍ය සහ පරුස වචන භාවිතා නොකිරීම, ප්‍රතිචාර සඳහා ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ නම් නිර්නාමික ලෙස භාවිතා නොකිරීම, ඉතා දීර්ඝ ප්‍රතිචාර නොදැක්වීම, අදාල පුවතට සම්බන්ධතාවයක් නැති ප්‍රතිචාර දැක්වීම, වෙනත් වෙබ් අඩවි වල පලවූ ප්‍රතිචාර සහ වෙනත් වෙබ් අඩවි ප්‍රචලිත කිරීමේ අරමුණින් කරන්නා වූ ප්‍රතිචාර යන ආදී කරුනු ඇතුලත් ප්‍රතිචාර අද ලක්දෙරණ වෙබ් අඩවියේ පළ නොකරන බව කරුණාවෙන් සැලකිල්ලට ගනු මැනවි.
සියලු පුවත් සඳාහා දක්වා ඇති පාඨක ප්‍රතිචාර "අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස" යටතේ ඔවුන්ගේම අදහස් විය යුතු අතර අද ලක්දෙරණ වෙබ් අඩවිය එම ප්‍රතිචාර සඳහා වග නොකියන බව මෙලෙස ඔබ සැමට අවධාරණය කරමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top