කිලිනොච්චිය නිදහස් කරගත් මහ සෙන්පති ජගත් ඩයස් අද හමුදාවෙන් සමුගනී

යුද්ධය හිගන්නාගේ තුවාලය වී තිබුණු යුගයක් විය. ඒ යුගය අද ඇතැමෙක් බලහත්කාරයෙන් අමතක කර දමා ඇති අතර තවත් සමහරෙක් ඒ යටගියාව ගැන දන්නේද නැත.වසර හය හමාරකට පමණ පෙර 2009 මැයි 19 වැනිදා කොටි ත්‍රස්තවාදය නිමා නොවන්නට අදත් යුද්ධයත් සාමයත් ත්‍රස්තවාදයත් රණවිරුවනුත් ගැන විවිධ කතා බහ ඇතිවනවාට සැක නැත.

ඒ කිසිවක් සිහිපත් නොවන තැනට රට පත් කළේ රණවිරුවන්ය. ඔවුන්ට අභිතව නායකත්වය දුන් යුද සෙන්පතියන් ගැන එකල කතා වූයේ මහ උජාරුවෙනි. ඊට හේතුවූයේ ඔවුන්ගේ පහනින් රටම එළිය දුටු නිසාය. නමුත් ඔවුන්ගේ පහන නිවීයනවායැයි දැන දැනත් ඇතමෙක් නිහඩව සිටිති. ඒ තමන්ද අදුරේ ගිලෙන බව නොදැනය.

JD2මේජර් ජෙනරාල් ජගත් ඩයස් නත්තල් දා (25) විශ්‍රාම යෑම මේ වනවිට කතා බහට ලක්වී හමාරය. ජගත් ඩයස් සම්බන්ධයෙන් මෙවැනි කතාබහක් ඇතිවීම පුදුමයක් නොවේ. ඒ නිසා හමුදාවේ දෙවැනියා (මාණ්ඩලික ප්‍රධානි) ලෙස ජගත් ඩයස් විශ්‍රාම යාමට වැඩි යමක් මෙහි තිබේ. විශ්‍රාම යෑම බලෙන් සිදුවන්නක් නොවන නිසා ආණ්ඩුවට ඊට දිය හැකි සරලම පිළිතුරක් අැත. අප කිසිදු බලපෑමක් කර නැත. ඔහු විශ්‍රාම කාලය එළැඹි පසු විශ්‍රාම ගොස් ඇත. නමුත් සියුලුදෙනා දන්නා පරිදි හමුදා නිලධාරින්ට සේවා දිගුවන් ලබා දීමේ හැකියාව තිබේ. වර්තමාන යුද හමුදාපතිවරයා පවා එවැනි සේවා දිගුවක් ලබා හමුදාපතිධූරයේ රැදී සිටින්නෙකි.

කෙසේ වෙතත් මේජර් ජෙනරාල් ජගත් ඩයස් වැනි හමුදා නිලධාරින් හමුදාව තුළ රදවාගෙන තවදුරටත් සේවයක් ලබා ගත්තේ නම් එය රටට සම්පතක් බව අමුතුවෙන් නොකිවමනාය.කොටි ත්‍රස්තවාදීන්ට එරෙහිව හමුදා මානුෂීය මෙහෙයුමේදී 57 සේානාංකයට අණ දුන් මේජර් ජෙනරාල් ජගත් ඩයස්, සිය සේනාංක හසුරවමින් ලබාගත් ජයග්‍රහණය අපමණය.

ඒ අතරින් කොටින්ගේ හදවත යැයි කියු කිලිනොච්චි කොටි බලමුළු යටත් කර ගැනීම, සාමයේ සංකේතයැයි කියු මඩු දේවස්ථානය මුදා ගැනීමත් කැපී පෙනේ. ඕමන්තෙයි බටහිර දෙසින් සේනාංක මෙහෙයවමින් යාපනය මහනුවර ඒ -9 මාර්ගය දිගේ ඉදිරියට මෙහෙයුම් ක්‍රියාත්මක කළ 57 සේනාංකය උයිලන්කුලම තුනුක්කායි කොකාවිල් අක්කාරයන්කුලම් කිලිනොච්චි විශ්වමඩු දක්වා සිය මෙහෙයුම් ක්‍රියාත්මක කළේ මේජර් ජෙනරාල් ජගත් ඩයස්ගේ නායකත්වයෙනි.

කොටින්ගේ හදවතට ළගින්ම සටන් කරමින් ඉදිරියට ගිය 57 සේනාංකය සිය මෙහෙයුම් පිළිබදව මාධ්‍ය දැනුවත් කළේ අඩුවෙනි. අපි අතෙන්ට ගැහුවා. මෙතෙන්ට ගැහුවා. ඒත් සර් කැමති නෑනේ පත්තරේ දාන්න යැයි එකල ජගත් ඩයස්ගේ 57 සේනාංක පහළ අණ දෙන නිලධාරියෙක් මට පැවැසුවේය. එදින මම බ්‍රිගේඩියර් ජගත් ඩයස්ට ඇමැතුමක් ගත්තේය.

බ්‍රිගේඩියර් අපි පත්තරේ දාමු දැන් අතන අල්ලලා තියෙන්නෙ කියලා. මම ජගත් ඩයස්ට යෝජනා කළේය. අනෙකුත් හමුදා නිලධාරින් මෙන්ම රමේෂ් පුතා යැයි මාව ඇමතූ ජගත් ඩයස් මට පෙරලා දුන්නේ බලාපොරොත්තු නොවූ පිළිතුරකි. රමේෂ් පුතා. දන්නවනේ මට පබ්ලිසිටි ඕන නෑ. ඒත් ඔන්න වැඩේ කරලා තියෙන්නෙ. වඩා හොදයි පත්තරේ නොදා ඉන්නවනම්.. යැයි ඔහු කීවේය. එදා පටන් 57 සේනාංකය ගැන ලිවීමේදී මම පරෙස්සම් වුනෙමි.

නමුත් මඩු , කොකාවිල් සහ තුනුක්කායි මුදා ගන්නා විටත් යුද බිමේ මම සිටියේ 57 සේනාංකය සමගය. එකල ලක්බිම ආරක්ෂක වාර්තාකරු වූ මම ගසක් උඩට නැග අසීරුවෙන් සී.ඩී.එම්.ඒ දුරකථනයක් ඔස්සේ ගත් ඇමතුමක් නිසා, නිල වශයෙන් නිවේදනය කරන්නටත් පෙර හමුදාව මඩු අල්ලයි යනුවෙන් රටට පළමුවෙන් ඒ පුවත ගෙන එන්නට මට හැකිවිය. රූපවාහිනි නාලිකා පවා කලබල වී පසුදිනම මඩු බලා ආවේ ඉන් පසුවය. කෙසේ වෙතත් මේ කිසි තැනකදී තමන්ව පුම්බන්නැයි ජගත් ඩයස් අපට නොකීවේය.

ඇතැම්විට අප ඔහු මුණ ගැසීමට යන විට ඔහුගේ නවාතැන තිබුණේ ගස් උඩය. වැසිකිලි කැසිකිලි පහසුකම් ඔහුටත් සෙබළුන්ටත් එක හා සමානය. ආරක්ෂක වාර්තාකරුවන් අතර ජගත් ඩයස් නියම හමුදා නිලධාරියෙක් ලෙස ප්‍රකට වීමට එයද හේතුවක් විය. නීති රීති තද වුවත් ඔහුගේ හමුදා නිලධාරි පෞරුෂය අසම සම එකක් විය. මේ නිසාම පුදුකුඩුඉරිප්පු අවසන් බිම් කඩ මුදාගන්නා විටත්, කොටි නායක ප්‍රභාකරන්ගේ මරා දමන විටත් අවසන් සටනේ ඒකාබද්ධ හමුදා අණ දෙන නිලධාරියකු ලෙස මේජර් ජෙනරාල් ජගත් ඩයස් කටයුතු කළේය.

යුද්ධය අවසන් වුවත් ජගත් ඩයස් සමග ඇති කොටි ඩයස්පොරාවේ වෛරය කෙළවර නොවීමට එය හේතුවක් විය. කලක් ජර්මනියේ ශ්‍රි ලංකා නියෝජ්‍ය තානාපති ලෙස කටයුතු කළ ජගත් ඩයස් බටහිර රටක සිට වුවද ක්‍රියාත්මක කළේ කොටි විරෝධී වැඩපිළිවෙලකි. ඒ ඔහුට රට ගැන තිබූ කැක්කුම අසීමාන්විත වූ නිසාය.

මේ නිසාම පසුගිය ආණ්ඩුව සමයේ සිටම ඇමෙරිකාව යුද අපරාධ ගැන කතා කරමින් එහි මුලින්ම රදවන නමක් වූයේ මේජර් ජෙනරාල් ජගත් ඩයස්ය. මේ නිසා විදෙස් රටක පුහුණුවකට හෝ ජගත් ඩයස් නිර්දේශ වූ විට ඊට ඩයස්පොරාව ඇවිස්සුනේ ගැරඩින්ට භූමිතෙල් ගෑවා මෙන්ය. නැතිනම් කඩි ගුල ඇවිස්සුනා මෙන්ය.

මේ නිසා හමුදා නිලධාරියෙක් ලෙස ජගත් ඩයස් රට තුළම හිරකාරයකු කිරීමට කොටි හිතවාදීන් එකල සිට බලපෑම් කළේය. මෙහි කූටප්‍රාප්තිය සිදුවූයේ මේජර් ජෙනරාල් ජගත් ඩයස් හමුදාවේ දෙවැනියා නැතිනම් හමුදා මාණ්ඩලික ප්‍රධානියා වීම සමගය.

ඔහුට තවදුරටත් හමුදාවේ නොරදවා ගැනීමට යම් බලපෑමක් වූයේ නම් ඒ එසේ මෙසේ රටකින් නොවිය යුතුය. නැතිනම් ඩයස්පොරාවේ බලපෑමක් එහි පිටුපස තිබුණා විය යුතුය. ජගත් ඩයස් නවත්වා රටට යමක් ගත්තේ නම් එ් ගැන සතුටුවීමට මා දන්නා මේජර් ජෙනරාල් ජගත් ඩයස්ට හැකියාව තිබේ. ගැටලුව ඇත්තේ රටට ඉතිරිවූයේ බලපෑමක් පමණක්ද යන ප්‍රශ්නාර්ථයයි. එය මේජර් ජෙනරාල් ජගත් ඩයස්ටද ඇති ගැටලුවක් බවට සැක නැත.

“මම රටට ආදරේ කළේ මගේ අම්මට වගේ. මම ඒ යුතුකම ඉටු කළා. මම අද ආව මගේ අම්මා බලන්න. හෙටින් පස්සේ මම හමුදාවෙන් විශ්‍රාම යනවා. මම නිසා රටට දෙයක් ලැබුණනානම් මට තියෙන සතුට එච්චරයි. හැබැයි ගැමුණු කුමාරයා කිව්වා වගේ වකුටු වෙලා මට නිදා ගන්න බැහැ”.යැයි මේජර් ජෙනරාල් ජගත් ඩයස් මම අද ගත් ඇමතුම අවසන් කිරීමට පෙර කීවේය.

රමේෂ් වරල්ලේගම

--------------------------------------------------------------------------------------------------------------------------

* ඔබගේ ප්‍රතිචාරය අද ලක්දෙරණ වෙබ් අඩවියේ පළ කරනුයේ පහත සඳහන් කොන්දේසි මතය.
පුද්ගලයෙකු හෝ පුද්ගලයින්ට නිග්‍රහ නොකිරීම, අපහස නොකිරීම, අසභ්‍ය සහ පරුස වචන භාවිතා නොකිරීම, ප්‍රතිචාර සඳහා ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ නම් නිර්නාමික ලෙස භාවිතා නොකිරීම, ඉතා දීර්ඝ ප්‍රතිචාර නොදැක්වීම, අදාල පුවතට සම්බන්ධතාවයක් නැති ප්‍රතිචාර දැක්වීම, වෙනත් වෙබ් අඩවි වල පලවූ ප්‍රතිචාර සහ වෙනත් වෙබ් අඩවි ප්‍රචලිත කිරීමේ අරමුණින් කරන්නා වූ ප්‍රතිචාර යන ආදී කරුනු ඇතුලත් ප්‍රතිචාර අද ලක්දෙරණ වෙබ් අඩවියේ පළ නොකරන බව කරුණාවෙන් සැලකිල්ලට ගනු මැනවි.
සියලු පුවත් සඳාහා දක්වා ඇති පාඨක ප්‍රතිචාර "අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස" යටතේ ඔවුන්ගේම අදහස් විය යුතු අතර අද ලක්දෙරණ වෙබ් අඩවිය එම ප්‍රතිචාර සඳහා වග නොකියන බව මෙලෙස ඔබ සැමට අවධාරණය කරමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top