අනාගත ස්වාභාවික ආපදා තවත් දරුණුවන ලකුණු

ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ දරුණුතම සුළි කුණාටුව ඇමරිකාවේ විස්ටන්හි ෆීජි දුපත් වලට සිදුකළ දේපළ හා ජීවිත හානිය අතිමහත්ය. දශක ගණනාවක් වෙහෙසව දිනාගත් ආර්ථික ඉලක්කයන් අවසානයේ ඇඹරී කැඞී බිදී ගොස් තැන් තැන්හි වැටී තිබුණු යකඩ ගොඩ වලටත් විනාශවී ගිය වගා බිම් වලටත් සීමා විය.ජීවත් වීමට සුදුසුයැයි සම්මත තත්ත්වයකට ගොඩනැගී තිබුණු ජීවිත නැවතත් ඒවා පටන්ගත් තැනටම තල්ලූවී ගියේය.

ගොලීය උෂ්ණත්වය ඉහළයාම සහ කාලගුණ විපර්යාසයන් පෘථිවියේ පරිසරයට එල්ල කරන බලපෑම් වල ප‍්‍රතිඵලයක් ලෙස ෆීජි දූපත් වලට අත්වූ ඉරණම හා සමාන ඛේදවාචකයන් ලොව වෙනත් තැන්වලද,වඩ වඩාත් ඇතිවනු ඇතැයි විද්‍යාව අනතුරු අඟවන්නේය. ගෝලීය උෂ්ණත්වය ඉහළයාමේ සහ කාලගුණ විපර්යාසයන් වල බලපෑම් වලට වඩාත්ම ලක්වීමට ඉඩ තිබෙන්නේ මුහුදු බවද සඳහන්ය.ඇමරිකාවට මහත් විනාශයක් ගෙන ආ කැට්රිනා සහ සැන්ඩි මෙන්ම පිලිපීනයට ව්‍යසනයක් වූ හයියන් අපේ මතකයන්ගේ තවමත් ඇත.

තනි පුද්ගල මට්ටම සැළකීමේදී ෆීජී දූපත් ලද මේ අත්දැකීම බෙහෙවින් විනාශකාරී වන්නට ඉඩ තිබිණ නමුත් අනෙක් රටවලටද ආදර්ශයක් වෙමින් බලධරයින් නවීන තාක්ෂණික ක‍්‍රම ආධාරයෙන් ව්‍යසනයට පෙර ජනතාවට අනතුරු ඇඟවීමට ගත් පියවරයන් නිසා එය වැළකී ගියේය. දහස් ගණනක් දෙනා වහ වහා ආරක්ෂිත ස්ථාන වෙත යොමුකර තිබීම නිසා වාර්තා වූ ජීවිත හානි ප‍්‍රමාණය බෙහෙවින් අවම මට්ටමක් ගත්තේය. අවතැන් වූවන්ට අසල්වැසි ගම්මාන වල වැසියෝ උදවු උපකාර කිරීමට ගෙන තිබූයේ අන්තර්ජාතික සහාය ලැබෙන්නට ගැනීමටත් පෙර සිටමය. මෙවන් ව්‍යසනයකට මුහුණ දෙන්නකුගේ හිස අවුල් නොවී තිබේනම් එය පුදුමයකි. නමුත් මෙම ගම් වැසියෝ කලබල නොවූහ. ෆීජි දුපත් ආපදාවකට ලක්වීයැයි අන්තර්ජාතික ප‍්‍රජාව සිහි එළවාගැනීමට පෙරම ඔවුහු අවතැන් වූවන්ට උපකාර වූහ.

පසුගිය සමයේ විශේෂයෙන් දිළිදු රටවල් සැලකිමේදී, ස්වභාවික ආපදා කල්තියා හඳුනාගැනීමේ සමත් නවීන තාක්ෂණ විධි අත්පත් කරගැනීමේ උනන්දුවක් එම රටවල තිබිණ. මෙයින් ස්වභාවික ආපදා අවස්ථාවකදී එම රටවල ජීවිත හානි හා ඇතැම් අවස්ථාවලදී දේපළ හානි පවා අවම කරගැනීමට අවස්ථාව ලැබිණ. ඒ කෙසේ වුවත් භූකම්පන ඇතිවේයැයි තහවුරු කිරීමේ හැකියාව හැකි අනතුරු ඇගවීමේ පද්ධතීන් නිර්මාණය කිරීම සම්බන්ධයෙන් නම් අප තවමත් සාර්ථකවී නොමැති බවද සදහන් කළ යුතුය.

ෆීජී දූපත් ලද මෙම අමිහිරි අත්දැකීමේන් උගත හැකි වැදගත් පාඩම් කිහිපයකි. කල්තියා සූදානම් වීම, විශේෂ කොටම නවීන සන්නිවේදන ක‍්‍රමවේදයන් භාවිතයෙන් අනතුරු ඇගවීම, වැනි කරුණු මගින් ජීවිත හානි සහ අනතුරු සංඛයාව සැලකිය යුතු ලෙස පහත දමාගත හැකිය. ක‍්‍රමවත් ඉදිකිරීම් ක‍්‍රම අනුගමනය කිරීමෙන් ගොඩනැගිලි ආදියට සිදුවන හානි අවම කරගත හැකිය.

උදාහරණයක් ලෙස බංගලිදේශය ගතහොත් ස්වභාවික ආපදා වලින් ආරක්ෂා වීම සම්බන්ධව එරට සිදුකර ඇති ආයෝජනය වනුයේ පොළෝ මට්ටමින් ඉහළට එසවෙන සේ පස් ගොඩගසා වේදිකා ඉදිකිරීමයි. ගංවතුර තත්ත්වයකදී හෝ සුළි සුළං තත්ත්වයකදී බංගලිදේශ ජනතාවගේ සරණට එනුයේ මෙම වේදිකාවන්ය.මේ සියලූ ක‍්‍රමවිධි මධ්‍යයේ වඩාත් වැදගත්ම වනුයේ ස්වභාවික ව්‍යසනයකට පසු රටේ අනෙක් ජන කොටස් ආපදාවන්ට ලක්වූවන්ට උදව් උපකාරී කිරීමයි.මෙය කෙතරම් කාර්යක්ෂමදැයි වින්ස්ටන්හි ඛේදවාචකයෙන් පසු මොනවට දැකගත හැකිවිය.

මුහුදු මට්ටම ඉහළ යෑම,ඒ සමග සිදුවන පාරිසරික වශයෙන් අවතැන් වන්නන්ගේ සංක‍්‍රමණ ආදිය ගැන දැන් වැඩි අවධානයක් නැත. නමුත් මෙය අපගේ අවධානයට ලක්විය යුතුම තත්ත්වයකි.

කාලගුණ විපර්යාසයන් සම්බන්ධයෙන් කෙරෙන  ඕනෑම සාකච්ඡාවක සෑම අවස්ථාවකදීම ප‍්‍රධාන මාතෘකාව වනුයේ සාගරයි. සාගර වල ආර්ථිකමය වටිනාකමද අති ඉහළය. ලොව 71% ක ප‍්‍රතිශතයක් ආවරණය කරන සාගර සගවාගෙන සිටිනා සම්පත් වල වටිනාකම ඩොලර් ටි‍්‍රලියන 24 ඉක්මවන බව පැවසේ. 2013 වසරේදී පමණක් සාගර වලින් නෙළාගත් මත්ස්‍යය අස්වැන්න ටොන් 860 ලක්ෂයක් විය. මෙම මසුන්ගෙන් ලොව ප්‍රෝටීන අවශ්‍යතාවයෙන් 16% ක් සැපිරිණ. මසුන් මැරීමේ ක්ෂේත‍්‍රය නිසාවෙන් උද්පාදනය වී ඇති රැකියා සංඛ්‍යාව ලක්ෂ 2000 ඉක්මවන්නේය.

ලොව ශක්ති අවශ්‍යතාවන් සැපිරීමට යොදාගන්නා තෙල් හා ගෑස් මෙන්ම සුළං හා උදම් බලය ලබාගන්නේද සාගර හා මුහුදු වලිනි. මුහුදු පතුලේ ඇති ඇතැම් ලවණ වර්ග ගොඩබිම ඇති තරගකාරී සමාගම් වලට රන් වලට වඩා වටී.

සාගර උෂ්ණත්වය ඉහළ යෑමේ ප‍්‍රතිඵලයක් ලෙස ඝර්මකලාපික රටවල මසුන් මැරීමේ කර්මාන්තයේ නියැළෙන දිළිදු වැසියන්ගේ ප‍්‍රධාන ප්‍රෝටීන මූලාශ‍්‍රය මෙන්ම ඉපැයුම් මූලාශ‍්‍රයද වන ආර්ථික වශයෙන් වටිනාකමක් ඇති මසුන් සිසිල් කාලගුණයක් ඇති මුහුදු කලාප කරා සංක‍්‍රමණය වීමේ ඉඩක් ඇත. සාගර ආසන්නයේ පිහිටි පහත්බිම් ජලයෙන් යටවීමේ අවදානමක්ද පැන නගිනු ඇති අතර මේ හා සමග පිරිසිදු ජල මූලාශ‍්‍ර අපවිත‍්‍ර වීමෙන් පානීය ජලය සපයාගැනීමේ ගැටළුවට, විශේෂයෙන් දියුණු වෙමින් පවතින රටවල ජනතාවට, මුහුණදීමට සිදුවනු ඇත. සයුරු ජලයේ ආම්ලිකතාව ඉහළයෑම නිසාවෙන් කොරල්පරවලට හානි සිදුවන සහ මත්ත්ස්‍ය නිජබිම් විනාශ වන තත්ත්වයන් ඇතිවීමේ ඉඩක්ද ඇත.

හරිතාගාර වායූන් වල විශාලතම ගබඩාව වන්නේ සාගර හෙයින් හරිතාගාර වායූ විමෝචනයන් ඉහළයෑම යනු පෘථිවි උෂ්ණත්වය තවත් ඉහළ දැමීමට සහ ඒ සමග සිදුවන අයිස්කදු දියවීමට ප‍්‍රධාන හේතුවක් වනු ඇත.ඉහළ යන සාගර ජලකද හමුවේ ඇතැම් කුඩා දිවයින් සම්පූර්ණයෙන්ම ගොඩබිමෙන් අතුරුදන් වනු ඇත.මෙයත් සමග මහා පරිමානයෙන් සංක‍්‍රමණිකයන් වෙනත් රටවල සරණ සොයා එනු ඇත.

20 වැනි ශතවර්ශය ආරම්භයේ සිට මිනිසා නිපදවූ හරිතාගාර වායූන්ගෙන් 70%  කටම ආසන්න ප‍්‍රමාණයක් ඉන්දියා සාගරය අවශෝෂණය කරගෙන ඇතැයි විද්‍යාඥයෝ දැන් විශ්වාස කරන්නෝය. මෙම තත්ත්වය හමුවේ ඉන්දියා සාගර කලාපය ආසන්නයේ ඇති රටවලට කුමන ඉරණමක් අත්වේදැයි පුරෝකථනය කිරීමට පවා හැකියාවක් නොමැත. මිනිසා නිපදවන ලද ප්ලාස්ටික් වැනි අපද්‍රව්‍ය, විනාශකාරී අපද්‍රව්‍ය තොගයක් ලෙස සාගර පතුලේ ගොඩගැසී තිබෙන බවත් එයද පරිසර උෂ්ණත්වය ඉහළ දැමීමට දායකත්වය ලබාදෙමින් සිටින බවත් විශ්වාස කෙරේ.

කැට්රිනා සහ සැන්ඩි මෙන්ම පිලිපීනය කැළඹූ හයියන් වැනි ස්වභාවික ආපදා තත්ත්වයන් සැළකීමේදී අනාගත ස්වභාවික ආපදාවන් තව තවත් විනාශකාරී වන ලකුණු හදුනාගත හැකිය.

ගෝලීය උෂ්ණ්තවය ඉහළ යෑමේ සහ සාගර ජල මට්ටම ඉහළ යෑමේ සමාජ – ආර්ථිකමය බලපෑම් ඩොලර් බිලියන ගණනක මුදල් හුවමාරුවක් සිදුවන ලෝක සංචාරක ක්ෂේත‍්‍රයට දරුණු පහරක් එල්ල කරණු නොඅනුමානය.සාගර හා මුහුදු අරබයා නිර්මානය වෙමින් තිබෙන පුලූල් වපසරියක පැතිරුණු මෙන්ම ස්වභාවයෙන් සංකීර්ණ වන අභියෝගයන් එක්සත් ජාතීන්ගේ අවධානයටද ලක්ව තිබේ.මෙම කරුණු නිසාවෙන්ම මෙම අභියෝගයන් එක්සත් ජාතීන් නම් කර තිබෙන්නේ තිරසාර සංවර්ධන ඉලක්කයක් ලෙසය.

කාලගුණය ගැන බලාපොරොත්තුවක් – දැනුම්වත් ඉදිරි පරම්පරාවක්

දෙසැම්බරයේදී රටවල් 195 ක නියෝජිතයෝ පැරිස් නුවරදී හමුවූහ. එකිනෙකාට සුභාෂිංශනය කරගැනීමෙන් පසු ඔවුහු ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑම සහ කාලගුණ විපර්යාස හමුවේ තර්ජනයට ලක්ව තිබෙන මානව පැවැත්ම, ඉන් මුදවා ගැනීමට කි‍්‍රයාත්මක කළ යුතු පුලූල් කි‍්‍රයාමාර්ගයන් කිහිපයක් සම්බන්ධයෙන් එකගතාවයකට පැමිණියහ.

කාලගුණ විපර්යාසය තම ධූර කාලයේ තමන් ඉහළ ප‍්‍රමුඛතාවක් ලබාදී තිබෙන කාරණයක් බව එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා පැවසුවේය.පැරිස් එකගතාවය ජනතාව මෙන්ම පෘථිවියද ලැබූ ජයග‍්‍රහණයක් ලෙස ඔහු හඳුන්වාදුන්නේය.

පැරිස් එකගතාවයේදී එකගවූ කරුණු සැබැවින්ම කි‍්‍රයාත්මක වුවහොත් වත්මන් එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා නිසැකයෙන්ම ඉතිසාහගතවනු ඇත.ප‍්‍රංශ විදේශ අමාත්‍ය ලූරෙන්ට් ෆාබියෝ ඉතාම හැගුම්බරව පැරිස් එකගතා හමුව නිමා කළේය.අන්තර්ජාලයේ ක‍්‍රියාත්මක වන ගෝලීය ව්‍යාපාරයක් වන අවාස් වෙබ් අඩවියේ මානව ඉතිහාසයේ ඉතාම වැදගත් හා විශාල හැරවුම් ලක්ෂ්‍යයක් ලෙස පැරිස් එකගතාවය හදුන්වාදී තිබිණ.

හරිතාගාර වායු විමෝචනයන් අවම කිරීම මගින් ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑම වසර 2050 වන විට සෙල්සියස් අංශක දෙකක මට්ටමට ගෙන ඒමටත්, හැකිනම් එය සෙල්සියස් අංශක 1.5 ක මට්ටම දක්වාම පහළ බැස්වීමටත් අන්තර්ජාතික ප‍්‍රජාව පැරිස් එකගතාවයේදී සම්මුතියකට පැමිණියහ.රටවල් 188 ක් මේ සම්බන්ධ පියවර ගැනීමට එම රටවල් වල ජාතික මට්ටමින් තීරණය කෙරෙන පරිදි තම දායකත්වය ලබාදීමටද එකාවන්ව කැමැත්ත පළ කළේය.මෙසේ දායකත්වය ලබාදෙන්නේ කෙසේදැයි එම රටවල් දැනටමත් දේශගුණ වෙනස්වීම් සම්බන්ධ ලේකම්වරයාට තොරතුරු ලබාදී ඇත.

ගෝලීය උෂ්ණත්වය පහළ හෙළීම සදහා පියවර ගත යුතුයැයි කිසිදු රටක් බැදී නොසිටින මුත් එම ඉලක්කය අත්පත් කරගනු වස් ලොව රටවල් ඒවායේ දායකත්වය ලබාදිය යුත්තේ කෙසේදැයි පස් වසරකට වරක් විශේෂ විවරණයක් සිදුකිරීමටද නියමිතය. කෝපන්හේගන්හිදී පැවැති සමුළුවේදී එකගවූ ආකාරයට ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම හා කාලගුණ විපර්යාස වලට අනුගත වීමට සහ අදාළ පියවර ගැනීම වෙනුවෙන් සංවර්ධනය වෙමින් පවතින රටවලට වසර 2020 වන විටදී රුපියල් බිලියන 100 බැගින් ලබාදීමටද නියමිතය.අනතුරුදායක අවදියේ සිටින රටවලට රුපියල් බිලියන 250 බැගින් ලබාදීමටද එම සමුළුවේදී එකගත්වය පළවිය.

විශාල අභියෝගයක්

මේ සියල්ල මධ්‍යයේ වුවද මානව පැවැත්මට විශාල තර්ජනයක් වන මට්ටමට වර්ධනය වී ඇති මෙම තත්ත්වය මර්දනය කිරීමට ගතයුතු සෑම පියවරක්ම ගෙන ඇතිදැයි මතුව තිබෙන සැකයන් එළෙසම පවතී.ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑම හා කාලගුණ විපර්යාසයන් අරබයා කටයුතු කිරීමට ලොව රටවල් කැපවී සිටියත් 2030 වසර වන තෙක්ම ක‍්‍රමයෙන් ලොව උෂ්ණත්වය ඉහළ යනු ඇතැයි සැළකිය හැකිය.මේ සමයේදී ස්වභාවික ආපදා තව තවත් භයංකර හා විනාශකාරී වනුද ඇත.

උද්ගතව තිබෙන මෙම තත්ත්වය සම්බන්ධයෙන් අපට ඇති අතීත අත්දැකීම්ද එතරම් මිහිරි නොවේ.එක්සත් ජාතීන්ගේ කාලගුණ විපර්යාසයන් පිළිඹද ප‍්‍රඥප්තියට 1997 වසරේදී හදුන්වාදුන් කියෝතෝ සම්මුතියටද පැරිස් එකගතාවයට හා සමාන පිළිගැනීමක් හිමිවිය.නමුත් එදවස ලොව අංක එකේ හරිතාගාර වායු විමෝචකයා ලෙස සැළකුණු එක්සත් ජනපදය,කියෝතෝ සම්මුතියේදී පැවැත්වුණු සාකච්ඡා වලට සකී‍්‍රයව සහභාගී වුවද අවසානයේ වායු විමෝචනයන් සීමා කිරීමට එකග නොවුනි.කියෝතෝ සම්මුතියේ කොටස්කරුවකු වීමේ අදහසක් නැතිවා සේම එයට දැඩිව විරෝධය දක්වන බවද වොෂින්ටන් පරිපාලනය කියා සිටියේය.

අද ඇමරිකාව යනු හරිතාගාර විමෝචනය කරන රටවල් ලැයිස්තුවේ දෙවැනි තැන පසුවන්නාය.මෙවර පැරිස් එකගතාවයේදීද ඔවුන් සකී‍්‍රයව කටයුතු කරනු දැකගත හැකිවිය.ජනපති ඔබාමාගේ නිල කාලය මෙම වසරේදී නිමාව දකිනු ඇත.එරට කොංග‍්‍රසයේ බලය හිමිව ඇත්තේ හරිතාගාර වායු විමෝචනය සීමා කිරීම සම්බන්ධයෙන් වැඩි අවධානයක් නොදක්වන රිපබ්ලිකන් පක්ෂය අතය. රිපබ්ලිකන් පක්ෂයේ ජනපති අපේක්ෂකයෝ වෙනත් කරුණු ගැන සංවේදී වුවත් හරිතාගාර වායු විමෝචනයන් සම්බන්ධව ඔවුන්ට කිසිදු උනන්දුවක් නැත.

කාලගුණ විපර්යාසයන් සම්බන්ධයෙන් ඇමරිකාව අනුගමනය කරන පිළිවෙත ආදර්ශයට ගනිමින් වෙනත් රටවල්ද ඔවුන්ගේ පොරොන්දු කඩකරනු ඇතැයි සිතිය හැකිය.මේ නිසා දැනටමත් ඔබාමා පරිපාලනය හරිතාගාර වායු විමෝචනයන් සම්බන්ධයෙන් ලබාදී ඇති නියෝග අධිකරණ හමුවේ අභියෝගයට ලක්වෙමින් පවතී.

කියෝතෝ සම්මුතියට ඉතා සකී‍්‍රය දායකත්වයක් ලබාදුන් පොසිල ඉන්ධන සහ කර්මාන්තමය මට්ටමින් කෘෂිකර්ම නිශ්පාදනයන් අපනයනය කරන කැනඩාව, කියෝතෝ සම්මුතියෙන් බලාපොරොත්තුවූ කිසිවක් ඉටුව නැතැයි කියමින් 2011 වසරේදී ඉන් ඉවත් විය.කියෝතෝ හි තවත් ප‍්‍රධාන පාර්ශවකරුවකු වන්නේ ගල්අගුරු,ස්වභාවික වායු සහ කෘෂි නිශ්පාදන අපනයනයේ ප‍්‍රමුඛයෙක් වන  ඕස්ටේ‍්‍රලියාවය.

පොසිල ඉන්ධන අපනයනයන් මත පදනම්ව ඇති ආර්ථිකය වෙනස් කිරීමට මෙවන් රටවලට ආර්ථිකමය හා දේශපාලනමය හැකියාවක් ඇතිද යන්න වැදගත් ගැටළුවකි.

කර්මාන්තමය මට්ටමෙන් සිදුවන කෘෂිකර්මයේ අයුතු බලපෑම්,විශේෂයෙන් මහා පරිමානයෙන් පවත්වාගෙන යන සත්ත්ව ගොවිපල ආදිය, එවැනි අපනයනයන් මත පදනම් ආර්ථික ක‍්‍රමයක් ඇති රටවලට හරිතාගාර වායු විමෝචනයන් සීමා කිරීම අරබයා ජයගැනීමට අපහසු බාධකයන්ය.ජර්මනිය වැනි රටවල් අපනයනය කරන පොසිල ඉන්ධන දහනය වන බලාගාර වල ආදේශකයන් සංවර්ධනය වෙමින් පවතින රටවල් අවුරුදු ගණනාවක් පුරාවට පොසිල ඉන්ධන වල යැපුම්කරුවෝ බවට පත්කරනු ඇත.

පොසිල ඉන්ධන විශාල වශයෙන් භාවිතයට ගැනීමට මගින්, දහස් ගණනක් දෙනා දිළිදු බවින් මුදවාගත් ආර්ථික පුනරුදයක් අත්පත් කරගෙන සිටින චීනය,ඉන්දියාව හා බ‍්‍රසීලය වැනි රටවලට හරිතාගාර වායු විමෝචනයන් සීමා කිරීමට ගන්නා පියවර හමුවේ දේශීය වශයෙන් මහත් අභියෝගයන්ට මුහුණදීමට සිදුවනු ඇත.

ලොව හරිතාගාර වායු විමෝචනයන්ගෙන් සියයට 60 ක්ම මුක්ත වන්නේ ඇමරිකාව,චීනය,ඉන්දියාව,රුසියාව හා ජපානය යන රටවලින්ය.යුරෝපයේ දායකත්වය සියයට 12 කි.මෙම රටවලට හා යුරෝපයට හරිතාගාර වායු විමෝචනය සීමා කිරීමට විශාල වගකීමක් පැවරී පවතී.මේ සම්බන්ධයෙන් පියවර ගැනීමට ඔවුන්ටම හැකියාව තිබේ.

ප‍්‍රමාණාත්මක ඉලක්කයක්

පැරිස් එකගතාවයට කිසිදු රටක් නෛතිකව බැදී නොමැති අතර ප‍්‍රගතිය විවරණයට ලක්කිරීමට වසර පහකට වරක් හමුවක් පැවැත්වීමට සැළසුම් කර ඇත.නමුත් සාමාජික රටවලට මුහුණදෙන්නට සිදුවනු ඇති පීඩනයන්,විශේෂයෙන් එම රටවල දේශීය කර්මාන්තයන්ගෙන්ම එල්ල වනු ඇති පීඩනයන් සැළකිල්ලට ගැනීමේදී මෙසේ වසර පහකට වරක් හමුවීමට සියලූදෙනාට අවකාශ සැළසෙනු ඇතිදැයි යන්න ගැටළුවකි.

ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑම මර්දනය කිරීමට හා උෂ්ණත්වය ඉහළ යෑම සෙල්සියස් අංශක දෙකක් දක්වා අඩු කිරීමට ගත යුතු පියවර ලෙස පැරිස් එකමුතුවේ රටවල් එම රටවල ජාතික මට්ටමින් ලබාදීමට සූදානම් දායකත්වයන් සැළකිල්ලට ගැනීමේදී නියමිත පරිදි දායකත්වය ලබාදීමට සූදානම්ව සිටින්නේ රටවල් පහක් පමණි. ඇමරිකාව,යුරෝපය,චීනය සහ බ‍්‍රසීලය ලබාදීමට එකගවී ඇති දායකත්වන් හමුවේ ගෝලීය උෂ්ණත්වය සියයට දෙකක මට්ටමින් ඔබ්බට යන බව හදුනාගෙන ඇත.රුසියාව,කැනඩාව හා  ඕස්ටේ‍්‍රලියාව හරිතාගාර වායු විමෝචනයන් සීමා කිරීමට ගන්නා බව කියන පියවර සැලකීමේදී ඒවායින් සෙල්සියස් අංශක තුන ඉක්මවා ගෝලීය උණුසුම ඉහළ යනු ඇත.

සංවර්ධනය වෙමින් පවතින රටවලටද මෙම කර්තව්‍යය සදහා තම සහය ලබාදීමට හැකියාව ඇත.නමුත් බොහෝ රටවලට ඒ සදහා ආධාර සහ තාක්ෂණය අවැසිය.කාලගුණය ආරක්ෂා කිරීමේ තාක්ෂණයන් දැනටමත් පවතින අතර ඒවායේ මිල ඉතා ඉහළය.

2020 වන විට මෙම කටයුතු සදහා සංවර්ධනය වෙමින් පවතින රටවලට ඩොලර් බිලියන 100 බැගින් ලබාදිය යුතුයැයි කොපන්හේගන් සමුළුවේදී තීරණය විය.පැරිස් එකගතාවයේදී එවැනි තීරණයක් ගැනුනේ නැත.පෙර ගත් පියවරයන්ගෙන් ඔබ්බට යා යුතුව ඇති බව පමණක් සදහන් විය. නමුත් සංවර්ධනය වෙමින් පවතින රටවලට කාලගුණය ආරක්ෂා කිරීමට අත්පත් කරගතයුතු තාක්ෂණ ක‍්‍රමවේදයන් සදහා කිසිසේත්ම ප‍්‍රමාණවත් නොවන පෙර සදහන් කෙරුණු ඩොලර් බිලියන 100 ක ආධාරය 2020 සිට 2025 වසර දක්වා කල්දැමීමට තීරණය විය.

මෙම අගයෙන් පෙන්වා දෙන්නේ පොදු මූලාශ‍්‍ර වලින් ලබාගත හැකි මුදල් ප‍්‍රමාණය පමණක්ය.සම්පූර්ණ මුදල කොතැනින් ලැබෙන්නේදැයි පැහැදිලි නැත.

කාබන් මුක්ත වීම අවම කිරීමට සහ කාලගුණය ආරක්ෂා වන ආර්ථික ක‍්‍රමයක් ඇතිකිරීමට සංවර්ධනය වෙමින් පවතින රටවලට ලබාදිය යුතු ආධාර ඩොලර් ටි‍්‍රලියන ගණනක් වනු ඇතැයි ලෝක බැංකුව ඇස්තමෙන්තු ගතකර ඇත.මේ සදහා එහි අරමුදල් වලින් සියයට 28 ක ප‍්‍රමාණයක් වෙන් කිරීමටද ලෝක බැංකුව සූදානම්ය.

සියලූ ආධාර එකතුකළ විට 2020 වන විට ඩොලර් බිලියන 29 බැගින් ලබාදීමට හැකි තත්ත්වයක් ඇතිවනු ඇතැයිද ලෝක බැංකුව ඇස්තමෙන්තු ගතකර තිබේ.මුදල් ආධාර ලෙස ඩොලර් ලක්ෂ 8000 ක් ලබාදීමට ඇමරිකාව දැනටමත් පොරොන්දුවී ඇත.

චීනය ලබාදීමට පොරොන්දුවී ඇති මුදල ඩොලර් බිලියන 3.1 කි.නමුත් මේ කිසිවකින් 2020 දී අපේක්ෂිත ඉලක්කය වන ඩොලර් බිලියන 100 සපුරාගැනීමට හැකිවන බවක් පෙනෙන්නට නැත.

දේපළ විනාශ වීම සහ අහිමි වීම,ජනාවාස විනාශ වීම,සංක‍්‍රමණ ආදිය සම්බන්ධ රක්ෂණ යාන්ත‍්‍රණයක් හදුන්වාදීමටද පැරිස් එකගතාවයේදී සාකච්ඡුා වුවත් උද්ගතව ඇති වත්මන් තත්ත්වය හමුවේ එවැන්නක් ප‍්‍රමාණවත් වනු ඇතිදැයි යන්න ගැටලූවකි.ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමේ සහ මුහුදු මට්ටම ඉහළ යාමේ ප‍්‍රධාන අතුරුඵලයක් වනු ඇත්තේ ජනතාව කාලගුණමය හේතු අරබයා සරණාගතයින් බවට පත්වීමයි.මෙය කිසිසේත්ම සුලූකොට තැකිය නොහැකි තත්ත්වයකි.යුරෝපය මේ දිනවල මුහුණදී සිටින සරණාගත අර්බුදයට සුළු වශයෙන් හෝ කාලගුණ විපර්යාසය බලපා තිබෙන බව දැනටමත් ඇතැම් විචාරකයින් සදහන් කර ඇත.

2030 වසර දක්වාම ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑමේ ප‍්‍රවණතාවක් හදුනාගන්නට හැකි හෙයින් 2050 වන විට සෙල්සියස් අංශක දෙකක් දක්වා ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම සීමා කිරීමට නම් දැන් සිටම ආර්ථිකය හා ජීවන පැවැත්ම හැඩගස්වාගත යුතුව ඇත.

නව සහ අමතර ආධාර සැපයීමක් ගැන පැරිස් එකමුතුවේදී සදහන් නොවුනි.මෙනිසා කාලගුණ තත්ත්වයන් නගා සිටුවීමට නිල හා නොනිල මාර්ග වලින් ආධාර ලබාගැනීමට අවකාශය විවෘතය.දැනටමත් පෞද්ගලික ක්ෂේත‍්‍රයේ සහය මේ සදහා ලබාගැනීමට ඇතැම් රටවල් අදහස් කරගෙන සිටී.

අතීතයේ සිට පරිසර දූෂණය සදහා බලපෑ හේතුකාරකයන් මර්දනය කිරීමට ගන්නා පියවර ඉතාම ඉක්මනින් මැඩපැවැත්වීමට කටයුතු කෙරෙන ආකාරයක් හදුනාගත හැකිය.පලාලූ සහ ටි‍්‍රනිඩෑඞ් සහ ටොබාගෝ ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑම සම්බන්ධයෙන් තමන්ට ඇති වගකීම පිළිබඳව අන්තර්ජාතික අධිකරනයේ මතය විමසීමට යෑමේදී එම උත්සාහය වහාම ව්‍යර්ථ කර දමනු ලැබිණ.මෙය නැවත වරක් බලාත්මක කිරීමට නියමිතය.අඩිස් අබාබා සම්මුතියේ සංවර්ධනය සදහා ආධාර සැපයීමක් ගැන පැහැදිලිව සදහන්ව තිබුණද තිරසාර සංවර්ධන කි‍්‍රයාවලිය වෙනුවෙන් ආධාර සපයා ගැනීම අභියෝගයකි.කාලගුණ වෙනස්වීම මෙම තත්ත්වය තවත් බරපතල කරනු ඇත.

පුනර්ජනනීය ශක්ති කර්මාන්තය

පැරිස් එකමුතුවේ එක් සාධනීය ප‍්‍රතිඵලයක් වන්නේ එයින් පුනර්ජනනීය ශක්ති කර්මාන්තයට ලැබෙන්නට නියමිත දේවල්ය.අද ලොව අංක එකේ හරිතාගාර විමෝචකයා ලෙස සැළකෙන චීනය පුනර්ජනනීය ශක්ති ප‍්‍රභවන් වන සූර්ය පැනල,සුළං ටර්බයින, ආදී ක්ෂේත‍්‍රයන්ගේ විසල් ආයෝජනයන් සිදුකර ඇත.

දකුණු ආසියාවේ විශාලතම ගල් අගුරු හා බැදුණු සංවර්ධන සැළසුම මෑතක් වන තුරුම තිබූයේ වියට්නාමයේය.එය සැළසුම කි‍්‍රයාත්මක වූයේ නම් වියට්නාමය ජපානයට පමණක් දෙවැනි වීමට තිබිණ.නමුත් පසුගිය ජනවාරියේ විශේෂ නිවේදනයක් කළ වියට්නාම අගමැති නගුයෙන් ටැන් ඩන්ග් ගල් අගුරු හා සම්බන්ධ නව බලාගාර ව්‍යාපෘති සියල්ලක්ම අහෝසි කරන බව පැවසුවේය.එහිදී ඔහු පැරිස් එකමුතුව ගැන විශේෂ සදහනක්ද කළේය.

වායු දූෂණයෙන් නිරතුරුවම පීඩා විදින චීනයද ඉදිරි වසර තුන ඉලක්ක කර ගල් අගුරු භාවිතය සීමා කිරීමට පියවර ගෙන ඇත.ඇමරිකා ජනපති බැරක් ඔබාමා රජය සතු ඉඩම් වල ගල් අගුරු කැණීම තහනම් කර තිබේ.

කාලගුණ විපර්සායන්ගේ සංකීර්ණත්වය සහ එම ගැටලූ වලට විසදුම් සැපයීමට යාමේදී අනිවාර්යයෙන්ම නොයෙක් ක්ෂේත‍්‍ර වලින් එල්ල වනු ඇති පීඩනය රටවල රජයන්ගේ සැළකිල්ලට ලක්විය යුතුය.මෙම අභියෝගය ජයගත යුතුව ඇත්තේ විදුලි බල ජනනය,ප‍්‍රවාහනය,දුම්රිය ආදී ආර්ථික ක්ෂේත‍්‍රයන්ගේ සිදුකෙරෙන සැළසුම් සහගත වෙනස්කම් මාර්ගයෙන්ය.

ස්වභාවික ආපදා තත්ත්වයකට පසු නැවත නැගී සිටීම කුඩා රටකට සැබෑම අභියෝගයකි.මේ නිසා එවන් රටවල් වෙනුවෙන් සුදුසු අරමුදලක් , දේශපාලනිකමය වශයෙන් මධ්‍යස්ථ ප‍්‍රතිපත්තියක් අනුගමනය කරන එක්සත් ජාතීන් වැනි සංවිධාන මැදිහත්ව  හැකි ඉක්මනින්ම ඇතිකිරීම වැදගත්ය.ආර්ථික වශයෙන් ශක්තිමත් අසල්වැසි රටවල්, තම විපතට පත් සගයාට පිහිටවීමද වැදගත්ය.

පාරිසරික ආපදා තත්ත්වයකදී ඊට වහාම ප‍්‍රතිචාර දැක්විය හැකි ක‍්‍රමවේදයක් ඇතිකිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන් වහාම අවධානය යොමුකළ යුතුය.හදිසි ආපදා තත්ත්වයකදී ප‍්‍රතිචාර දැක්විය යුතු ආකාරය ගැන බලවත් රටවලට අත්දැකීම් ඇත. ආරක්ෂක හා මූලෝපායික වශයෙන් වැදගත් වන හදිසි අවස්ථා වලදී ඒවාට යෙදවීමට එම රටවල ආරක්ෂක අංශ සූදානමින් සිටී.

යුරෝපා සංගමයට ක්ෂණික සංවර්ධන බලකායක් ඇත.මානවවාදී හදිසි තත්ත්වයන් වෙනුවෙන් වහාම ප‍්‍රතිචාර දැක්විය හැකි ඉක්මන් ප‍්‍රතිචාර දැක්වීමේ බලකායක් පිහිටුවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ද අවධානය යොමුකර තිබේ. මෙය වැදගත්ය.මක්නිසාද යත් වත්මන් කාලගුණ ප‍්‍රවණතා සැලකීමේදී ස්වභාවික ආපදා තත්ත්වයක් වැඩි වැඩියෙන් ඇතිවීමේ අවදානමක් පවතින බැවින්ය. මෙයින් වඩාත්ම බලපෑම් එල්ල වන්නේ දුබල රටවලටය.සහන ලබාදිය හැකි මධ්‍යස්ථානයන් මූලෝපායික වශයෙන් වැදගත් වන ස්ථානයන්හි ස්ථානගත කළ යුතුව තිබෙන අතර සුදුසුකම් ලත් පුද්ගලයෝ හදිසි අවස්ථාවකදී කැඳවීමට හැකිවනසේ කලාපීය වශයෙන් සේවයේ යොදවා තිබිය යුතුය.

ආචාර්ය පාලිත කොහොන සමග සිදුකළ සම්මුඛ සාකච්ඡාවක් ඇසුරිණි

--------------------------------------------------------------------------------------------------------------------------

* ඔබගේ ප්‍රතිචාරය අද ලක්දෙරණ වෙබ් අඩවියේ පළ කරනුයේ පහත සඳහන් කොන්දේසි මතය.
පුද්ගලයෙකු හෝ පුද්ගලයින්ට නිග්‍රහ නොකිරීම, අපහස නොකිරීම, අසභ්‍ය සහ පරුස වචන භාවිතා නොකිරීම, ප්‍රතිචාර සඳහා ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ නම් නිර්නාමික ලෙස භාවිතා නොකිරීම, ඉතා දීර්ඝ ප්‍රතිචාර නොදැක්වීම, අදාල පුවතට සම්බන්ධතාවයක් නැති ප්‍රතිචාර දැක්වීම, වෙනත් වෙබ් අඩවි වල පලවූ ප්‍රතිචාර සහ වෙනත් වෙබ් අඩවි ප්‍රචලිත කිරීමේ අරමුණින් කරන්නා වූ ප්‍රතිචාර යන ආදී කරුනු ඇතුලත් ප්‍රතිචාර අද ලක්දෙරණ වෙබ් අඩවියේ පළ නොකරන බව කරුණාවෙන් සැලකිල්ලට ගනු මැනවි.
සියලු පුවත් සඳාහා දක්වා ඇති පාඨක ප්‍රතිචාර "අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස" යටතේ ඔවුන්ගේම අදහස් විය යුතු අතර අද ලක්දෙරණ වෙබ් අඩවිය එම ප්‍රතිචාර සඳහා වග නොකියන බව මෙලෙස ඔබ සැමට අවධාරණය කරමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Top